Breaking

Post Top Ad

Wednesday, October 9, 2019

බාගෙට ඉගෙන ගත්ත අයගෙන් නම් දාගන්නවානම් දෙවරක් හිතන්න






ජ්‍යෝතිෂ සම්බන්ධ කටයුතු වලදී මම අකමැතිම වැඩක් තමයි ළමයින්ට නම් දානවා කියන එක . විෂය කරුණු වලටවත් , ඒවා හසුරුවන්න තියෙන අපහසු වීම නිසාවත් නෙවෙයි මම මේ වැඩේට අකමැති වෙන්නේ . හදලා දුන්නට පස්සේ නම ප්‍රතික්ෂේප කිරීම නිසා . මේ නිසා උපන් වෙලාව අනුව සුබ අකුරු මොනවද කියලා පරීක්ෂා කරලා බලලා ඒ අකුරු ලබා දෙනවා අලුත උපන් දරුවාගේ අම්මා සහ තාත්තා දෙන්නාටම කතා වෙලා නමක් හෝ නම් යෝජනා කරන්න , ඒවායින් හොඳ නම මොකක්ද කියලා පරීක්ෂා කරලා බලලා කියන්නම් කියලා . ඊට පස්සේ එයාලා දෙන නම් පරීක්ෂා කරලා බලලා වෙනස් වෙන්න ඕන නම් වෙනස් කරලා මම නම් ලබා දීම සිදු කරනවා .

කෙනෙක්ගේ නම තමයි ඒ කෙනාට අනන්‍ය මූලිකම හැඳින්වීම වෙන්නේ . ඒ නිසා නම විසින් ඒ කෙනාට යම් ශක්තියක් ලබාදීම සිදු කෙරෙනවා . අපි දන්න ඉතිහාසගතම නම් තැබීම වෙන්නේ සිදුහත් කුමාරයාට නම් තැබීමේ අවස්ථාව . සිද්ධාර්ථ කියන නම බ්‍රාහ්මණයින් විසින් යෝජනා කරන්නේ මේ නමේ තේරුම අකුරු යෙදීම සහ ගණ පිහිටීම කියන හැම දේම සුබ ආකාරයෙන් පවතිනවා කියලා කල්පනා කරලා බලලා . හොඳම අකුර හොඳම ගණය හොඳම තේරුම විදියට මම ඒ නම දකිනවා .

ඊට පස්සේ දුටුගැමුණු කුමාරයාට නම් තැබීම , රාජාභිෂේක වලදී රජවරුන්ට නම් තැබීම වගේ නොයෙක් අවස්ථා අපිට ඉතිහාසයේ දකින්න ලැබෙනවා . එන්න එන්නම විෂය කරුණු පිරිහිලා නම් තැබීමේ ක්‍රියාවලිය දුර්වල වෙනවා වගේම තමයි මිනිස්සුන්ගේ ආයුෂත් දුර්වල වෙන්නේ . මෙහෙම කිව්වම ගොඩක් දෙනෙක් කියන්නේ ආයුෂ අඩු වැඩි වෙන්න නමම ම ද බලපාන්නේ කියලා .

ඔව් , ඇත්තටම නම තමයි බලපාන්නේ ආයුෂ වර්ධනය වෙන්න ප්‍රධානවම . සාමාන්‍යයෙන් ඉස්සර ළමයෙක්ට නමක් තියලා ඒ නමින් ළමයා ආමන්ත්‍රණය කිරීම මංගල කාරණාවක් විදියට තමයි දකින්නේ . මේ දේවල් කිසිම තේරුමකි නැති හිස් දේවල් කියලා හිනාවෙන්නේ ඇත්තටම මේවා ගැන විශ්වාසයක් නැති අයම නෙවෙයි . මේවා විශ්වාස කරන්නේ නැහැ කියලා බොරුවට පිටට පෙන්නන්න හදන අය . ඒත් හිත දන්නවා මේවා ඇත්ත කියලා .

අකුරු වලට ශක්තියක් තියෙනවා . මේ අකුරුවල තියෙන ශක්තිය උපන් කෙනාගේ ශක්තියත් එක්ක ගළපලා තමයි නමක් තියන්න මූලිකවම අකුරු තේරීම කරන්නේ . අකුරු වලට ශක්තියක් නැහැ කියලා කියන සමහර අය යන්තර මන්තර විශ්වාස කරනවා . ඒ ඔක්කොම දේවල් අවිශ්වාස කරන අය දරුවෙක් ලැබෙන්න ඉන්නකොට හාමුදුරුවරු වඩම්මවලා අංගුලිමාල පිරිත කියවාගන්නවා . නමේ අකුරෙන් කෙරෙන දේත් , මන්තරේ අකුරෙන් කෙරෙන දේත් පිරිතෙන් කෙරෙන දේත් කියන වැඩ තුනම පේන්නේ නැහැ වගේම තමයි මේවායේ ඇත්ත නැත්ත ගැන ඉගෙන ගන්නේ නැතුව පරීක්ෂා කරලා බලන්නත් බැහැ . විෂය කරුණු ඔලුවේ තියෙන කෙනෙක් තමයි පර්යේෂණ පැත්තෙන් හිතලා මේවගේ දේවල් ඇත්තද නැත්ද කියලා පරීක්ෂා කරලා බලන්නේ .

කොහොමහරි නම් තැබීමේ ක්‍රියාවලිය සම්බන්ධව දැනට පවතින සාමාන්‍ය ජ්‍යෝතිෂ ඉගැන්වීම් වලින් හරියාකාරව අවබෝධයක් ලබා දෙන්නේ නැහැ කියලා පේනවා . නැකත් සීහුම් චක්‍රය තියෙනවා ඕන ලිතක ප්‍රින්ට් කරලා . දින ලග්න නැකත් වලට අදාළ අකුරු ටිකත් ලිතේම ප්‍රින්ට් කරලා තියෙනවා . ඔන්න ළමයෙක් ඉපදුනාට පස්සේ උපන් වෙලාවට කේන්දරේ හදනවා . උපන් නැකත බලාගත්තට පස්සේ , බහුතරයක් අය කරන්නේ උපන් නැකතට අදාළ අකුර බැලුවා , ඒ අකුර තමයි හොඳම අකුර කියලා ඒකෙන් නමක් තියන්න කියලා නියම කරනවා . මේ තත්වය ඉතාම වැරදි සහගත තත්වයක් . ඒවගේම තමයි මේ විදියට දාන නම් නිසා මිනිසුන්ගේ ආයුෂ ආත්මශක්තිය වගේ දේවල් වල වෙනස් වීමක් වෙනවා . 

නැකත් විසිහත විසිහත් ආකාරයක් වෙනවා . මේ එක එක නැකතට ආවේණික ලක්ෂණ තියෙනවා . නැකතක් කියන්නේ අහසේ තියෙන තරු රටාවක් ම නෙවෙයි . මේවාට අධිපති දෙවියන් , ඒවායේ සාමාන්‍ය විශේෂ ලක්ෂණ , පංච මහා ධාතුන්ගෙන් ඇතිවෙන බලපෑම සහ ඒ ඒ නැකත්වල ධාතුකොටස්වල පැතිරීම වගේ විශාල කරුණු කාරණා රාශියක් තියෙනවා . මේවා එක පොතක තියෙන දේවල් නෙවෙයි . පොත් කියවලා අධ්‍යනය කරලා මිනිස්සු ගැන විග්‍රහ කරලා බලල තමයි තේරුම් ගන්න ඕන වෙන්නේ මේ මේ නැකත් මේ මේ වගේ කියලා . මහා නක්ෂස්ත්‍ර විද්‍යාව එක්ක ඔය චූල නක්ෂස්ත්‍ර සංකල්ප ඇතිවෙන්න හේතු වුණේ විශේෂයෙන්ම මෙන්න මේ තත්වය තමයි . 

මේ දේවල් අනුව බලනකොට උපන් නැකත විතරක් බලලා ඒ නැකතට ඇදලා අකුරෙන් නමක් දාන එක යම් අවස්ථා වලදී අහිතකර තත්වයක් ගන්නවා . නැකත්වල පැවතීමේ සහ විනාශ වීමේ ගති පැවතුම් තියෙනවා . මේ වගේ වෙලාවල් වලදී අහිතකර නැකතක ශක්තිය අඩු කරන්න විසෙන් විස නසනවා වගේ අකුරු ගළපලා නම් තැබීම සිදු කරන අවස්ථාත් තියෙනවා . 

නමක ගණ මාත්‍රා අක්ෂර සිද්ධිය වගේ කරුණු කාරණා රාශියක් ගැන හිතලා බලන්න ඕන නමක් ස්ථීර වශයෙන්ම තියනකොට . මේ නිසා අලුත උපන් ළමයෙක්ට නමක් තියනකොට කාලයක් තිස්සේ විෂය අතපතගාලා තියෙන ටිකක් ගැඹුරට මේ විෂය ඉගෙන ගත්ත කෙනෙක් සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න . මම මේ ලිපිය ලියන්න හිතුවේ මේ වගේ සිද්දි කීපයක් ම මම දැනුවත්ව වෙලා තියෙන නිසා . 

මාරාන්තික වෙලාවක් එක්ක අහිතකර නැකතකින් ඉපදුනු ළමයෙක්ට ඒ උපත මාරාන්තික වෙච්ච බවක් ඒ අම්මලා තාත්තලාට උපත එක්ක ඇස් පනාපිටමත් පෙනුණා . මේ නිසා මේ අහිතකර උපතේ දෝෂය මගහරින්න විසෙන් විස නසන පිළිවෙලට අකුරු තෝරලා දීලා මම කිව්වා මේ අකුරෙන් ම නමක් තියන්න කියලා . නමේ කොටස් දෙකම මම හදලා දීලා කැමතිනම් මේ නම් තියන්න . නැත්නම් වෙනත් නම් හදලා දෙන්න හොඳ නරක පරීක්ෂා කරලා බලමු කියලා මම කිව්වා . 

ඒත් පස්සේ මේ ළමයාගේ පවුලේ කෙනෙක් ළමයා උපන් නැකතට අදාළ අකුරෙන් මුල් නම තියලා දෙවෙනි නම මම දුන්න නමම තිබ්බා . මුල් නම තමයි සාමාන්‍ය ව්‍යවහාරයට භාවිත වෙන්නේ . පවුලේ කෙනාගේ අවශ්‍යතාවයට අහිතකර අවස්ථාවට අදාළ අකුරෙන් තියපු මුල් නම මේ ළමයාට ඉදිරියටත් අහිතකර පැත්තටම බලපායි කියලා විෂය කරුණු සහ ප්‍රායෝගික තත්වයන් එක්ක මට තේරුම් ගියා . ඒත් මේ තත්වය ගැන මම වැඩිය පස්සෙන් එළවලා අදහස් දක්වන්න ගියේ නැහැ . මොකද බාගෙට ඉගෙනගෙන වුණත් පවුලේ අයගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට ජ්‍යෝතිෂ වේදියෙක් විදියට මම මගේ ජ්‍යෝතිෂවේදී භුමිකාව තුල ඉඳගෙන සටන් කරන්න අවශ්‍යතාවක් නැති නිසා . 

මාස 6ක , මාස 12ක ජ්‍යෝතිෂ පංති වලින් ජ්‍යෝතිෂ ගැන අදහසක් ගන්න අමාරුයි . මේක කාලයක් තිස්සේ සිහිකල්පනාවෙන් කරලා කරලා ලේවලටම පත්තියන් වෙනකොට තමයි ජ්‍යෝතිෂ කියලා කියන්නේ මොකක්ද සහ මේ විෂය කරුණු ප්‍රායෝගික පැත්තට ගන්නේ කොහොමද කියලා තේරුම් යන්නේ . ඒ නිසා වැඩි අධ්‍යනයක් නැති කෙනෙක්ගෙන් නමක් තියාගන්නවා නම් ඒ ගැන දෙපාරක් හිතලා බලන්න . 

සෙත් කවියක් කියන්න කියන්න සෙත වැඩි වෙනවා වගේම තමයි වස් කවියක් කියන්න වස් වැඩි වෙන්නෙත් . වස් වැඩිවෙන නමක් දාගෙන ඒ නමම නැවත නැවත කියනවා කියල කියන්නෙත් වස් කවි කිව්වා වගේම තමයි . නමක් මූලිකවම බලපෑම් කරන්නේ සෞඛ්‍ය පැත්තට . ඒ නිසා නම් තැබීම ගැන හොඳට හිතලා බලලා කරන්න . 

අලුත් ජ්‍යෝතිෂ වේදීනටත් මම යමක් කියන්න කැමතියි . ක්ලාස් එක ඉවරවෙලා එක්සෑම් ලියලා පාස් වුණු පළියට තමන් සියල්ල දත් ජ්‍යෝතිෂ වේදියෙක් කියලා හිතන්න එපා . සැබෑ ජ්‍යෝතිෂ වේදියා කවුරු වගේ කෙනෙක්ද කියල ඉගෙන ගන්න ඕන නම් පාරාශර සෘෂිවරයාගේ වෘහත් පරාෂරය කියවලා බලන්න . ඒකෙ තියෙනවා ජ්‍යෝතිෂ වේදියෙක් වෙන්න නම් කොහොම දේවල් ද කරන්න ඕන කියල . 


තවත් ලිපියකින් හමුවෙමු !
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

No comments:

Post a Comment