Breaking

Post Top Ad

Saturday, September 5, 2020

ගර්භනී සමයේ නිවාස සෑදීම සුදුසු ද ? නුසුදුසු ද ?




අද වෙනකොට ෆේස්බුක් කියන්නේ සමාජ මාධ්‍ය වලින් වැඩි දෙනෙක් භාවිතා කරන සමාජ මාධ්‍යය . ඒ ෆේස්බුක් එකවුන්ට් , ග්රූප් පේජ් වගේ විවිධ ආකාර වලින් පිරිසකට එකතු වෙන්න පුළුවන් ආකාරයේ ස්ථාන ෆේස්බුක් තුල තියෙන නිසා . මේවගේ ග්රූප් පේජ් තියෙනවා ගර්භනී සහ දරුවන් බිහිකරන ලද අම්මලා එකතු වෙන . 


ඒවගේම තමයි නිවාස හදන සහ නිවාස අලුත් වැඩියාව වගේ දේවල් සමබන්ධව ප්‍රශ්න අහන්න තියෙන ග්රූප් සහ පේජ් තියෙනවා . මේ වගේ ග්රූප් සහ පේජ්වල ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් ගැන මම දකින කෝණයෙන් විස්තර කිරීමක් තමයි කරන්න මේ සූදානම් වෙන්නේ . 


දරුවෙක් ලැබෙන්න ඉන්න වයසේ ගෙයක් හදන්න හොඳද ?


බොහොම තැන්වල කතාවෙන සාවද්‍ය සහ නිරවද්‍ය මත ඔස්සේ ගැටීමට ලක්වෙන මාතෘකාවක් තමයි මේක . ඇත්තටම සමහරු කියන කරන දේවල් දැක්කම මේ විස්තර කිරීම නොකර ඉන්න හිතෙන්නේ නැහැ . ඒ නිසා තමයි සරල මාතෘකාවක් වුණත් මේ සම්බන්ධව විස්තර කරන්නේ . 


වාස්තු විද්‍යාව හෝ ජ්‍යෝතිෂ විද්‍යාව තුල යම් මතයක් ඇති කරලා තියෙනවා ගෙදර බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නවා නම් ඒ දරුවා බිහිවෙනකල් ගෙවල් හදන්න අත තියන්න එපා කියලා . මේක වැරදි මතයක් නිසා ඇතිවුණු හරි සහ වැරදි දෙපැත්තම තියෙන කතාවක් . 


ඉස්සර කාලේ ගෙවල් හදලා තියෙන්නේ ගල් , මැටි , ලී දඬු , පිදුරු පොල් අතු වගේ දේවල් භාවිතා කරමින් . බොහොම සීමිත පිරිසක් තමයි ලොකු ලොකු නිවාස හදලා තියෙන්නේ . මේ නිසා ගමක ගෙයක් හදනකොට ගේ හදන පිරිමි කෙනාට ළඟින්ම ඉඳන් උදවු උපකාර කරන්නේ බිරිඳ . ගල් අදින්න , මැටි කපන්න අනන්න සහ මැටි ගෙනත් දෙන්න , ලී දඬු උස්සගෙන එන්න , ඒවා ගැටගහන්න , ඊට පස්සේ වහල හදන්න ලී දඬු ගෙන්න සහ පිදුරු පොල් අතු හෙවිලි කරන්න වගේ වැඩ රාජකාරි වලට බිරිඳ උදවු වෙනවා . 


දරුවෙක් ලැබෙන්න ඉන්නවා නම් ඒ බිරිඳ මේ දේවල් කරන එක හොඳ නැහැ . මොකද මේ දේවල් වලදී කුසට අනතුරක් වෙන්න පුළුවන් නිසා . ඒ වගේම තමයි සතුන් දෂ්ට කරන්න ඉඩ තියෙනවා . දූවිලි නිසා හෙම්බිරිසාව උන කැස්ස ඇතිවෙන්න ඉඩ තියෙනවා . ඒවා වැඩිවෙලා ගර්භයට හානි එහෙමත් ඇතිවෙන්න ඉඩ තියෙනවා . මේ නිසා ඒ කාලේ ජ්‍යෝතිෂ වේදීන් ප්‍රායෝගික උදාහරණ ඔස්සේ ශාස්ත්‍රයට එකතු කරනවා ගර්භනී කාලයේ නිවාස හදන්න හොඳ නැහැ කියලා . මෙතන කිසිම ජ්‍යෝතිෂ විද්‍යාත්මක පදනමක් නැහැ . සාමාන්‍ය දැනීම තමයි තියෙන්නේ . 


මේ කතාව කෙනෙක් කිව්වම තව කෙනෙක් කියනවා අනේ ඔය ජ්‍යෝතිෂ කියන්නේ බොරුවක් , වාස්තු කාරයෝ කරන්නේ ගෙවල් කඩවන එක කියලා . අදට මේ නිවාස හදන්න එපා කියන කතාව වැරදියි . ඒ වුණාට ඒ අතීතයේ හරි . ඒ නිසා ගර්භනී කාලයේ නිවාස හැදුවට ජ්‍යෝතිෂ වාස්තු විද්‍යා නියම වලින් වරදක් නැහැ . හැබැයි ඒකට හිතන්න ඕන දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා . 


අද කාලේ නිවසක් හදනකොට බිරිඳ ගර්භනී වුණත් නැතත් ඒක ප්‍රශ්නයක් නැහැ . තමන්ට සල්ලි සහ ඉඩමක් තියෙනවා නම් නිවසක් හදන්න පුළුවන් . අකමැති නම් නොහදා ඉන්න පුළුවන් . ඒ වුණාට නිවසක් හදනවා නම් ගෙදර ස්වාමියා යම් සූදානමක් තියෙන්න ඕන ගර්භනී බිරිඳ වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න සහ පරෙස්සම් කරන්න . 


ගර්භනී කාලයේ මොන හේතුවකට මුදල් ඕන වෙයිද කියලා හිතාගන්න බැහැ  . බෙහෙත් ගන්න , ගමන් බිමන් වලට වගේ දේවල්වලට , ඒවගේම දරුවා ලැබෙන්න ඉන්න මොහොතේ ඇතිවෙන සංකූලතා වලට එහෙමත් මුදල් අවශ්‍ය වෙනවා . ඒ නිසා යම් මුදලක් ඉතුරු කරගෙන ගර්භනී බිරිඳ සහ කුසේ ඉන්නා දරුවා වෙනුවෙන් වෙන් කරලා තියාගන්න ඕන . එහෙම මුදලක් බිරිඳ වෙනුවෙන් වෙන් කරන්න බැරි නම් තාවකාලිකව තමන්ගේ දරුවා ලැබෙනකල් ගේ හදන එක නවත්තන්න ඕන . 


ඒවගේම තමයි අලුත් නිවස හදන භූමියේ ගැබිණි බිරිඳ ඉන්න හොඳ නැහැ . මොකද සිමෙන්ති සහ වැලි වගේ දේවල්වල දූවිලි නහයට යන්න පුළුවන් නිසා . එහෙම දේවල් නහයට ගිහින් උන හෙම්බිරිසාව කැස්ස වගේ රෝග ලක්ෂණ පහල වුනොත් ඒ වෙනුවෙන් දෙන්න තියෙන බෙහෙත් සැර වැඩියි . ඒ බෙහෙත් සැර නිසා තමන්ගේ ලැබෙන්න ඉන්න දරුවාට හානියක් වෙන්න පුළුවන් . 


තීත්න ආලේප කිරීම ගැන විශේෂයෙන් කියන්න ඕන . අලුත් නිවසක් හදලා තීන්ත ආලේප කිරීම වුණත් , පරණ නිවසේ තීන්ත ආලේප කිරීම උනත් තමන්ගේ ගර්භනී බිරිඳ ඒ නිවසේ තියාගෙන කරන්න හොඳ නැහැ . මේ දේ කියනකොට මට මතක් වුණා කතාවක් . බබාලා ලැබෙන්න ඉන්න කාලෙට බබාගේ කාමරේ අලුත් වැඩියා කරනවා කියලා දෙයක් කවුරුත් කරනවා . ඊට අමතරව කාමරේ සරසනවා බිත්තිවල එහෙම එක එක රූප අලවලා . මේ වෙනුවෙන් මුලින්ම බිත්තිවල තීන්ත ගාන්න හොඳද කියලා එක අම්මා කෙනෙක් fb ග්රූප් එකක අහලා තිබුණා . 


කියන්නත් දුකයි , ඒ වෙනුවෙන් අම්මලා කීප දෙනෙක්ම කියලා තිබ්බේ " අපෝ කමක් නැහැ . මගේ බබා ලැබෙන්න ඉන්නකොට මමමයි කාමරේ තීන්ත ගෑවේ . බබත් හොඳට ඉන්නවා මමත් හොඳට ඉන්නවා කියලා . ඔය හොඳ දීර්ඝ කාලයක් තිබ්බොත් හොඳයි . ඒත් ගොඩක් වෙලාවට මේ විදියට ශරීරගත වෙන දේවල් අවුරුදු ගානක් ගිහින් පිළිකාවක් වගේ දෙයක් ඔස්සේ පිටතට පෙන්නුම් කරන්න ඉඩ තියෙනවා . ඇහැට නොපෙනන එක පරමාණුවක් , අනුවක් වුණත් ඇති පිළිකාවක් කරන්න සෛලයක විකෘතියක් ඇතිකරන්න . 


මෙතන වැඩියෙන්ම තියෙන්නේ ඒ විෂයන් පිළිබඳව කිසිම දැනුමක් නැතුව තමන්ගේ කෙටිකාලීන අත්දැකීම් ඔස්සේ නිගමන වලට එළඹීම සහ ඒවා ඇත්තමයි ඔයාලාත් එහෙම කරන්න කියලා අනිත් අයගෙත් ඔලුවට දැමීම . ගොඩක් වෙලාවට ෆේස්බුක් ග්රූප්වල තියෙන දේවල් ඇත්ත කියලා පිළිගන්නා පිරිසකුත් ඉන්නවා . ඒ නිසා හොඳ නරක පිලිබඳ දාන්නා කෙනෙක් එක්ක කතා කරලා තීරණ ගැනීමයි වඩාත් හොඳ . නවීන විද්‍යාව  කියලා පංචායුධය කරේ එල්ලන්නේ නැහැ ඒවා අවිද්‍යාව කියලා . ඒ වුණාට තීන්ත ගාන්න එපා කියලා කිව්වම තමයි ගොඩක් දෙනෙක් කියන්නේ අපෝ ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා . 

තීන්ත සුවඳ අපිට දැනෙනවා කියන්නේ තීන්ත වාෂ්ප අපේ නහයට ගියා කියන එක . ඒ කියන්නේ පෙනහළු වලින් ලේ වලටත් මේ තීන්ත අංශු එකතු වෙන්න පුළුවන් . තීන්ත කියන්නේ විෂ සහිත දෙයක් . තීන්තවල වර්ණය නිසියාකාරව ලබාගන්න විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා . 


ඒ නිසා ලේ ඔස්සේ බබාටත් මේ තීන්ත විෂ එකතු වෙන්න පුළුවන් . ඒ නිසා තීන්ත ගෑම බබෙක් සැලසුම් කරන්න කලින් කරන්න ඕන දෙයක් . පස්සේ ඒවා කරනවා නම් ඒ තීන්ත සුවඳ නොදැනෙන පරිසරයක ගැබිණි මව සතියක් වත් ඈත් වෙලා ඉන්න ඕන . මොකද බිත්තියේ ගෑවත් මේක හරියට වේලෙනකල් වාෂ්ප වෙවී එන නිසා . 


ඊට අමතරව ලී බඩු එහෙම පේන්ට් කරනකොට කරන තීන්ත ස්ප්‍රේ කිරීමත් සෞඛ්‍ය පැත්තට හොඳ නැහැ . වඩු රැකියාව කරන බහුතරයක් පවුල්වල ගර්භණීන් අඩු වයසෙන් ගබ්සා වෙන්න තීන්ත , දැව ආරක්ෂක , තිනර් , පොලිෂ් වගේ දේවල්වල තියෙන රසායනික වලට දීර්ඝ කාලයක් නිරාවරණය වීම හේතු වෙනවා .


ඉතින් ගර්භනී කාලයේ තමන්ගේ බිරිඳ අලුත් නිවස හදන බිමට එන්නේ වත් නැත්නම් සහ තමන්ට ඕන වෙලාවක හදිස්සියට ගන්න සල්ලි අතේ තියෙනවා නම් ජ්‍යෝතිෂ වාස්තු පැත්තෙන් කිසිම බාධාවක් නැහැ නිවාස අලුතෙන් හදන්න සහ අළුත් වැඩියා කරන්න . 


මේ ඔක්කොම කියන්නේ ස්ත්‍රී පාර්ශවය වෙනුවෙන් . ඒ වගේම තමයි පුරුෂ පාර්ශවය සැලකිලිමත් වෙන්න අවශ්‍ය කාරණාත් තියෙනවා මේ සම්බන්ධව . ස්ප්‍රේ කිරීම් වලදී , සහ තීන්ත වර්ග ආලේප කිරීමේදීත් , නිවාස සෑදීමේදී භාවිත කරන වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමේදීත් ඒවාට තමන්ගේ වෘෂණකෝෂ නිරාවරණය වීම නිසා හෝ ඇඳුම් හරහා ඒ රසායනික ද්‍රව්‍ය වෘෂණකෝෂවල ස්පර්ශ වීමෙන් ශරීරගත වෙන්න පුළුවන් . 


ඒ වගේම ආඝ්‍රාණය කිරීම නිසාත් ශරීරගතවෙන මේ විෂ රසායනික රුධිරය ඔස්සේ වෘෂණදක්වා ගමන් කරන්න ඉඩ තියෙනවා . මේ නිසා වෘෂණවල ශුක්‍රාණු නිපදවීමට අදාළ සෛල බෙදීමේ ක්‍රියාවලියේ යම් යම් අවස්ථා වලට බලපෑම් වෙලා ශුක්‍රාණු විකෘති වීම හෝ ශුක්‍රාණු නිපදවීම තාවකාලිකව හෝ ස්ථීරවම නවතින්න ඉඩ තියෙනවා . ඒ නිසා පිරිමි පාර්ශවය වුණත් නිවාස සෑදීමේ ක්‍රියාවලියේදී පරෙස්සම් වෙන්න අවශ්‍ය වෙනවා . විශේෂයෙන්ම දරුවන් අපේක්ෂා කරන අය තමයි මේ සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕන .



කෙනෙක් අහන ප්‍රශ්නයකට තමන් උත්තර දෙනකොට දෙතුන් පාරක් හිතන්න . නොදන්නා දේවල් ගැන උත්තර දෙන්නත් එපා . 


මුලින් කිව්වා වගේ , කෙනෙක් අහනවා තමන්ට බබෙක් ලැබෙන්න ඉන්නවා කාමරේ පේන්ට් කරාට කමක් නැද්ද කියලා . එතකොට තව කෙනෙක් කියනවා කමක් නෑ මමත් කරා කියලා . ඒ වුණාට ඒ කරපු කෙනා වෙන ගෙදරක ඉඳන් තවත් ගෙයක් පේන්ට් කෙරෙව්වා වෙන්න පුළුවන් . අහපු කෙනාට එහෙම අවස්ථා නැති වෙන්නත් පුළුවන් . 


එයා ඒ ගෙදරම පැත්තක ඉඳගෙන තමන්ගේ ගෙදර වැඩ අලුත් වැඩියා කටයුතු කරන කෙනෙක් හෝ බිරිඳක් වෙන්න පුළුවන් . එහෙම කෙනෙක්ට කියන්න එපා තීන්ත ගෑවට කමක් නෑ කියලා . අහලා ඉන්න ගෙදරද පිටද ඉන්නේ කියලා . ඔක්කොටම වඩා හොඳයි තමන් කරපු දේ තමයි හරි කියලා ඔයත් ඒකම කරන්න කියලා නොකියා ඉන්න එක . 


ඒවගේම තමයි ගාන පාටවල් වලින් ලා පාටවල් බාවිතා කරන්න . මොකද ලා පාටවල් වල තියෙන විෂ රසායනිකවල ප්‍රමාණය වර්ණය අධික රසායනික ද්‍රව්‍ය වලට වඩා ටිකක් අඩුයි . ලා කොළ පාට සහිත තීන්තවල මේ විෂ ගතිය සුළු ප්‍රමාණයකින් අවම වීමක් තියෙනවා . 


අවසානයේදී සරළවම කියනවානම් අද කාලේ ගර්භනී කෙනෙක් ඉන්න පවුලක නිවාස හැදුවට කමක් නැහැ . බිරිඳ වෙන කොහෙවත් නම් ඉන්නේ , බිරිඳ මහන්සි වෙන්නේ නැත්නම් , අතේ සල්ලිත් තියෙනවා නම් ගෙයක් හදන්න . 


තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

No comments:

Post a Comment