Breaking

Post Top Ad

Wednesday, August 5, 2020

බිලිඳුන් රෝග නසන රත කල්කය




ආයුර්වේදය සහ ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධවන තැනක් විදියට රතකල්කය මට හඳුන්වන්න පුළුවන් . මේ වෙනකල් බලපු කේන්දරවලින් වයස අවුරුදු 10 දක්වා ළමයි බහුතරයකට මම රත කල්කය ආයුර්වේද වෛද්‍ය නිරීක්ෂණ යටතේ පොවලා තියෙනවා . 

ඒකට වඩාත් වැදගත්ම හේතුව වුණේ ප්‍රතිශක්තිය අඩු දරුවන් මේ යුගයේ බිහිවීම . ජන්ම පත්‍රයේ 6 වෙනි භාවයේ අංශක එකක් එකක් ගානේ කියවෙන්නේ මනුෂ්‍ය ජීවිතයේ සතුරන් සම්බන්ධව . සතුරන් කිව්වම භෞතික සතුරන් විතරක් ම හඳුන්වන්න බැහැ . ලෙඩ රෝග වුණත් මනුෂ්‍ය ජීවිතය අඩපණ කරන්න එන සතුරන් විදියට තමයි පෙන්නුම් වෙන්නේ . 

කලියුගයේ උපදින දරුවන්ගේ ආයුෂ සම්බන්ධව කෙරෙන විග්‍රහයන් වලදී ගොඩක් වෙලාවට ලෙඩ රෝග වලට ලේසියෙන්ම ගොදුරු වෙන්න පුළුවන් තත්වයක් තමයි තියෙනවා කියලා එයාලාගේ ජන්ම පත්‍රවල පෙන්නුම් වෙන්නේ . ඒ වගේම තමයි එයාලාගේ ප්‍රයෝගික ජීවිතේ වුණත් පේන්නේ ලෙඩ රෝග වලට ලේසියෙන්ම ගොදුරු වෙනවා කියලා . 


මේ ලෙඩ රෝග වලට ළමයින් ගොදුරු වීම වැඩියෙන්ම වෙන්නේ එයාලාගේ ප්‍රතිශක්තිය අවම මට්ටමක පැවතීම නිසා . දැනට පවතින කොරෝනා රෝග තත්වය ගැන වුණත් කියන්න තියෙන්නේ ඒ දේම තමයි . මේ ප්‍රතිශක්තිය කියන දේ ශරීරයේ ඇතිවෙන්නේ අපි ඉපදෙන මොහොතේ ඉඳලා ශරීරය වර්ධනය වේගෙන එන අවධියේ . 


මෙන්න මේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න දායකවෙන සිංහල වෛද්‍ය ක්‍රමයේ තියෙන හොඳම ඖෂධ සංයෝගය තමයි රත කල්කය කියලා කියන්නේ . අතීතයේ රත කල්කය භාවිතා කිරීම ගැන තර්ක කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ . මොකද හරි වයසේ හරි අනුපාන වලින් ළමයින්ට රත කල්කය ලබාදීම කෙරෙනවා . ඒත් අද වෙනකොට රත කල්කය ළමයින්ට දීම මගහැරෙනවා සහ බලෙන්ම මගහරිනවා . 


මේ පිළිබඳව දන්නේ නැති අය ගොඩක් වෙලාවට දරුවන්ට රත කල්ක නොදීම නිසා ඒ දේ මගහැරෙනවා . රත කල්කය ගැන දන්නා අය තමන්ගේ දරුවට රත කල්ක නොදෙන්නේ එකක් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් රත කල්කය තරයේම ප්‍රතික්ෂේප කරන නිසා . 

අනිත් කාරණය තමයි අම්මා හෝ තාත්තා දෙන්නාගෙන් එක්කෙනෙක් සමාජයට පොෂ් චරිතයක් කියලා පෙන්නන්න ඕන නිසා " අපේ බබාට නම් රත කල්ක දුන්නේ නැහැ අපි " කියලා කියන්න ඕන නිසා . 


කැමති අයට දෙන්න පුළුවන් . අකමැති අයට නොදෙන්න පුළුවන් . සාමාන්‍යයෙන් කිරිදෙන අම්මා පවා රත කල්කය පානය කිරීම ගැන ආයුර්වේදයේ ඉගැන්වෙනවා . ඒ නිසා රතකල්කය කියන්නේ බිලිඳුන් ට විතරක් ගුණ දෙන ඖෂධයක් නෙවෙයි කියලා මතක තියාගන්න ඕන . 


( බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන බහුතරයක් බෙහෙත්වල effects තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම Side effects තියෙනවා කියලා මතක තියාගන්න ඕන ) 


මුලින්ම අපි බලමු මේ රතගාය කියලා කියන්නේ මොකක්ද කියලා . රතගාය කියන්නේ අලුතෙන් ඉපදුනු ළමයින්ට සහ වැඩුණු ළමයින්ට හැදෙන්න පුළුවන් රෝගී තත්වයක් . ඇත්තටම මේක රෝගයක් ම කියලා කියන්නත් බැහැ . රුධිරගත සංයුතියේ යම් යම් දෝෂ තත්වයක් ඇතිවීම තමයි රත ගාය කියලා කියන්නේ . 


දරුවෙක්ට රතගාය හැදුනාම සාමාන්‍යයෙන් මෙන්න මේ ලක්ෂණ බාහිරට පෙන්නුම් කරනවා . ඒ ලක්ෂණ අනුව තමයි හඳුනාගන්නේ රතගාය කියන තත්වය දුර්වාට තියෙනවා කියලා . 

සම රතුපැහැ වීම
සමේ කුඩා බිබිලි ඇතිවී ඒවා පුපුරා ගොස් නැවත නැවත ඇතිවීම 
රතගෙඩි නමින් හඳුන්වන රතු පැහැති බිබිලි ඇතිවීම 
මතුපිට තුවාල සහිත තුවාල ඇතිවීම සහ තුවාලවල කබොල ඇතිවීම 
මලපහ පිටවීම අඩු වීම හෝ මලබද්ධය ඇතිවීම 
නිතර උණ ගතියක් ඇතිවීම 
ආහාර අරුචිය ඇතිවීම 
කිහිලි සහ ඉකිලිවල හම යෑම සහ තුවාල වැනි තත්ව ඇතිවීම


රතගායේ යම් යම් තත්වයන් තියෙනවා . 


දරුවාගේ බහිස්රාවී ද්‍රව්‍ය සහ මල ද්‍රව්‍ය පිරිසිදු නොකිරීම 
දූෂිත කිරි පානය කිරීම
ස්නානය නොකරවීම
නිතර ඩහදිය දැමීම සහ ඒවා පිරිසිදු නොකිරීම
ගුද මාර්ගය අවට පිරිසිදු නොකිරීම


ඉපදුනු දරුවෙකුට රතගාය රෝගය ඇතිවෙන්න දරුවා ලැබෙන්න ඉන්න කාලයේ අම්මා විසින් කරන ලද මෙන්න මේ දේවල් බලපානවා . 


අම්මා ගර්භනී අවදියේ ඇඹුල් සහ තුනපහ මිරිස් අධිකව ආහාරයට ගැනීම 
අම්මාට ගර්භනී අවදියේ ඇතිවෙන මානසික අසහනය සහ පීඩනය 
කේන්තිය වෛරය වගේ හැගීම් දරුවාගේ මනසේ නිතර නිතර ඇතිවීම 
ගර්භනී කාලයේ අම්මාට උන රෝග ඇතිවීම 
ගර්භනී අවධියේ අම්මාට සමේ රෝග ඇතිවීම 
ගර්භණී අවධියේ අම්මාට මල පහ වීම නිසිලෙස නොවීම 
අපිරිසිදු ආහාර ගැනීම 


මෙන්න මේ කියන හේතු නිසා ඇතිවෙන පොදු තත්වයක් තමයි රතගාය කියලා කියන්නේ . රත බිබිලි ඇතිවෙන ස්ථාන අනුව රතගාය විවිධ ස්වරූපයන් ගන්නවා . ඒ වුණත් පොදුවේ අපි රතගාය කියලා විස්තර කරන්නේ ඔන්න ඔය විදියට හැදෙන රෝගී තත්වයකට . මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිශක්තිය සමතුලිත කිරීම සම්බන්ධව කියවෙන රෝගී තත්වයක් . 

රත කල්ක දෙන්නේ අන්න ඒ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න අවශ්‍ය රසායනික සංඝටක ශරීරයේ ඇතිකරන්න උත්තේජකයක් විදියට . 

අපි බලමු රතකල්කයේ සංයුතිය මොනවද කියලා . 

බිළිඳුන් වදකර පැණිරස ඇති ලිය ලේ වන් හිමේක බර                   වන්නේ
සිඳුහට නඟමින් හරිබර වු තැන ලිකුච යුෂින් අඹරා                         ගන්නේ
ළපටින් ළදරුම වලිප්පු උණ දුට කොත්තමල්ලි තම්බා                   දෙන්නේ
නියතින් ගුණ දෙන රහසකි ඇදුරනි පෙර වෙද දත් පඬි               උතුමන්නේ
මෙහි ව්‍යංගාර්ථයෙන් ඖෂධ නාම දක්වා ඇත.

බිළිඳුන්                       –> කොල්ලු
වදකර                        –> වදකහ
පැණිරස ඇති ලිය    –> වැල්මී
ලේවන්                       –> රත්හදුන්
හිම                            –> සුදුහදුන්
සිදු                             –> සවිඳ ලුණු
ලිකුච යුෂ                 –> දෙහි යුෂ


රත කල්කයේ අන්තර්ගතවෙන දේවල්වල වර්ගීකරණය මෙන්න මේ විදියට තමයි තියෙන්නේ .

කොල්ලු Dolichos biflorus L.

රස     :කෂාය
ගුණ   :ලඝු, රූක්ෂ, තික්ෂ්ණ
වීර්ය  :උෂ්ණ
විපාක:කටු
මුත්‍රාශ්මරී දිය කිරිම, සන්නිපාත ජ්වරයේ අතිස්වේද මර්ධනය

වදකහ Acorus calamus L.

රස     :කටු, තික්ත
ගුණ   :තික්ෂ්ණ
වීර්ය  :උෂ්ණ
විපාක:
අග්නි දීප්තිය ඇතිකරයි.විෂ බීජ නාශකයි. උදරාද්මානයට ගුණදායකයි.

වැල්මී Glycyribiza glabra L

රස     :මධුර
ගුණ   :ගුරු, ස්නිග්ධ
වීර්ය  :ශීත
විපාක:මධුර
රක්ත ශෝධකයි, මෘදු විරේක, මුත්‍ර විරංජනීය, චර්ම රෝග හර, විෂ නාශක.

රත් හදුන් Pterocarpus santalinus L

රස     :තික්ත,මධුර
ගුණ   :රූක්ෂ, ගුරු
වීර්ය  :ශීත
විපාක:කටු
රක්ත ශෝධකයි, රක්තජ පිත්තජ හෝ ආඝාතජ නේත්‍රරෝග නසයි, විෂබීජ නාශක.

සුදු හදුන්  Santalum album L

රස     :මධුර, තික්ත
ගුණ   :ගුරු, රූක්ෂ
වීර්ය  :ශීත
විපාක:කටු
මුත්‍රාල ඖෂධයකි. මුත්‍රාශ ප්‍රදාහ නාශකයි. චර්ම රෝග සදහා ගුණදායකයි. ජ්වරහරයි.

සවිඳ ලුණු Sodium chloride impure
රස     : මධුර
ගුණ   :ලඝු, සුක්ෂම, ස්නිග්ධ
වීර්ය  :ශීත
විපාක:
ත්‍රිදෝෂ ශාමකයි.

දෙහි යුෂ  Citrusaur aurantifolia

රස     :අම්ල
ගුණ   :ලඝු
වීර්ය  :අනුෂ්ණ
විපාක:මධුර
අජීර්ණ නසයි.



රත කල්කය සාදාගන්න ක්‍රමයක් තියෙනවා . 

කොල්ලු, වැල්මී, රත්හදුන්, සුදුහදුන්, වදකහ යන වර්ග සමාන බරකින් ගන්න ඕන . ඒවගේම සහිඳ ලුණු ඒ බෙහෙත් වර්ග ඔක්කොගෙම බරට සමාන බරක් ගන්න ඕන . 

බෙහෙත් වර්ග මුලින් අඹරාගෙන ඊට පස්සේ පෙනේරයකින් හලලා ඊට පස්සේ සවිඳ  ලුණු එක්ක මිශ්‍ර කරලා පෙරාගත් දෙහි ඇඹුල් එක්ක කලවම් කරලා හොඳින් අඹරාගන්න ඕන . මේ දෙහි ඇඹුල් යුෂ වෙනුවට ඕන නම් ඇඹුල් දොඩම් යුෂ ගන්නත් පුළුවන් . ඒ වුණත් දෙහි තමයි සාමාන්‍යයෙන් ගන්නේ . ඊට පස්සේ කල්ක පදම ආවට පස්සේ ගබඩා කරගන්න පුළුවන් . 

වීදුරු භාජනවල තමයි කල්කය තියන්න පුළුවන් . ලෝහ භාජන කොහෙත්ම මේ වෙනුවෙන් සුදුසු වෙන්නේ නැහැ . 



රතකල්කය දෙන මාත්‍රාව සම්මත මාත්‍රාවක්  

දරුවා ඉපදී සති 2 කට පසු එක දිගටම සතියක් රතකල්කය දෙන්න ඕන . 
ඊලග සතිය තුළ රත කල්කය නොදී ඉන්නවා . 
ඊට පස්සේ සතියේ ආයෙත් රත කල්කය දෙන්න ඕන සතියක් . එතනින් මූලිකව රත කල්ක දීම අවසාන වෙනවා . 
ඊට පස්සේ මාස දෙකකට පස්සේ ආයෙත් රත කල්ක සතියක් දුන්නට පස්සේ සම්පූර්ණ රත කල්ක දීම අවසාන වෙනවා

උපන් වයසේ දරුවෙක්ට දිනකට රතකල්ක දෙන්නේ කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයක් . 

මේ කල්කය දියකරන්න ඕන යම් ද්‍රවයක . ඒකට කියන්නේ අනුපාන කියලා . 

අනුපාන විදියට ගන්නේ මවුකිරි , කොත්තමල්ලි වතුර හෝ පත්පාඩගම් තම්බන ලද වතුර . මමනම් යෝජනා කරන්නේ මවුකිරි එක්ක මිශ්‍ර කරලා දෙන එක හොඳයි කියලා .  


විශේෂ තත්ත්ව අනුව රත කල්ක යම් අවස්ථා වලදී ළමයින්ට දෙන්න සුදුසු නොවන අවස්ථා එනවා . ඒ අවස්ථා තමයි , 

උපන් බර අඩු දරුවන්ට ව‍යසට නියමිත බර ඇතිවනකල් රත කල්ක දෙන්න සුදුසු වෙන්නේ නැහැ . 
අතීසාරයෙන් හෝ වමනයෙන් පෙළෙන අවස්ථා වලදී ළමයින්ට රත කල්ක දෙන්න සුදුසු වෙන්නේ නැහැ . 
මල බද්ධය තියෙන අවස්ථා වලදී රත කල්කය දෙන්න සුදුසු වෙන්නේ නැහැ . 



රතකල්කයේ ගුණ මෙන්න මේ විදියට නවීන පර්යේෂණ ඔස්සේ සනාථ කරලා තියෙනවා . 


ශරීර ගත වීමෙන් විෂ විමක් ඇති වෙන්නේ නැහැ 
උණ අඩු කරනවා
බැක්ටීරියා නාශක ගුණ තියෙනවා
ළදරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරනවා
ප්‍රදාහයන් නැති කරනවා


මෙන්න මේ විදියට තමයි රත කල්කය සම්බන්ධ සියල්ල විස්තර වෙන්නේ . නොදැනුවත්කම නිසා හෝ රත කල්කය නොදී ඉන්නවා නම් මේ ලිපිය කියවලා හරි මේ සම්බන්ධව දැනගෙන කටයුතු කරන්න කියලා මතක් කරනවා . 


තවත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

2 comments:

  1. ඊට පස්සෙ දරුවා ලොකු උනාම රත කල්කය දෙන්න හොඳ නැද්ද.මේ දක්වා ඇති කාලසීමාවේදීම දෙන එක අනිවාර්යයිද

    ReplyDelete
    Replies
    1. පොඩි වයසේ දෙන්න ඕන . දීම නොදීම අම්මලා තාත්තලාගේ තීරණයක් . මම මගේ ළමයට දුන්නා . ඒ දුන්නේ එහෙම දීලා ප්‍රශ්නයක් වුණොත් ඒ ප්‍රශ්නයට උත්තරත් මම ළඟ තියෙන නිසා . බයනම් හෝ වෙන අය කියන ඒවා පිළිගන්නවා නම් නොදී ඉන්න එක තමයි හොඳ . ඒවගේම ලොකු වුණාම රත කල්කය දුන්නට කමක් නෑ . වයස එක්ක මාත්‍රාව බලලා දෙන්න ඕන .

      Delete