Breaking

Post Top Ad

Thursday, August 22, 2019

දරුවෙකුගේ හිසකෙස් කැපීමේ මංගල චාරිත්‍රය






කුර්වන්ත්‍යකාලේ යෙ ක්ශෞරං තෙෂාං වර්ෂශතායුෂාම්
අර්වාග්මරණාමභ්‍යෙති තතඃ ක්ශෞරං විචාරයෙත්

හිසකෙස් කැපීම සම්බන්ධව දෛවඥකාමධෙනු කියන පොතේ මෙන්න මේ විදියට සඳහන් වෙලා තියෙනවා . මේ සංස්කෘත පාඨයේ තේරුම වෙන්නේ

" අවුරුදු සියයක් ආයුෂ ඇති යමෙක් අකාලයෙහි හෙවත් අසුබ මොහොතක පළමුවෙන් හිසකෙස් කැපීම කළහොත් ඊට කලින් මරණයට පැමිණෙන බැවින් ක්ශෞර කර්මයේදී ( හිසකෙස් කැපීමේදී ) සුපරීක්ෂාකාරී වන්නේ ය " කියන තේරුම

දෛවඥකාමධෙනු ග්‍රන්ථය රචනා කරන්නේ දඹදෙණි යුගයේ වැඩසිටි අනවදර්ශී සංඝරාජ හිමියන් විසින් . අනවමදර්ශී සංගරාජ හිමියන්ගේ චරිතය මේ මෑතකදී ලංකාවේ අයට තරමක් සමීප වුණා සිරි පැරකුම් චිත්‍රපටයෙන් . සිරි පැරකුම් චිත්‍රපටයේ සංඝරාජ හිමිකෙනේක්ගේ චරිතයක් රඟ දැක්වෙනවා . ඒ දඹදෙණි යුගයේ වැඩ සිටි මේ සංඝරාජ හිමියන්ගේ චරිතය තමයි . කලිකාල සාහිත්‍ය සර්වඥ පන්ඩිත දෙවෙනි පරාක්‍රමභාහු රජතුමාට අධ්‍යාපනය ලබා දුන්නේ මේ සංඝරාජ හිමියන්ගේ මූලිකත්වයෙන් කියලා තමයි ඉතිහාසයේ කියවෙන්නේ  .

පොත්වල විස්තර කෙරෙන විදියට වෛදික ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධව පරතෙරට ඉගෙනගත් කෙනෙක් විදියට තමයි උන්වහන්සේ ගැන සඳහන් වෙන්නේ . ලංකාවේ ලියවුණු ජ්‍යෝතිෂ ග්‍රන්ථ බැලුවාම දැනට පවතින පැරණිතම ලාංකීය ජ්‍යෝතිෂ ග්‍රන්ථය වන දෛවඥකාමධෙනු ග්‍රන්ථයේ විස්තර කෙරෙන පිළිවෙල ගැන මම තරමක් උනන්දු වෙනවා . මොකද ලංකාවේ ක්‍රමයට ගැළපෙන්න යම් කරුණක් හෝ මේ පොත්වල සඳහන් වෙන්න ඉඩක් තියෙන නිසා .

මේ පොතේ විස්තර වෙන්නේ හිසකෙස් කැපීම සම්බන්ධව මෙන්න මේ ප්‍රධානම කරුණු . හැබැයි මේවායින් බහුතරයක් දැන් වෙනකොට කෙරෙන්නේ නැහැ . ජ්‍යෝතිෂ සංකල්ප මම මෙතන සඳහන් කරන්නේ නැහැ . සාමාන්‍යයෙන් පිළිපදින දේවල් තමයි මෙතන සඳහන් කරන්නේ .

- දරුවා පිළිසිඳගෙන 3 , 5 , 7 කියන වර්ෂ වලදී හෝ උපනයනය ( ඉගෙන ගැනීමට පිටත්ව යාම ) කෙරෙන කාලයේ තමයි හිසකෙස් කැපීම කරන්න ඕන .
- පිරිමි ළමයෙක් නම් එයාගේ තාත්තා උපන් නැකතින් හිසකෙස් කැපීම අසුබ දායක වෙනවා .
- ගැහැණු දරුවෙක් නම් එයාගේ මව උපන් නැකතින් හිසකෙස් කැපීම අසුබ දායක වෙනවා .
- අසුබ නැකතකින් හිස කෙස් කැපුවා නම් සුබ නැකතකින් නැවතත් හිසකෙස් කප්පවන්න අවශ්‍ය වෙනවා .


හිසකෙස් කැපීම කරන වෙලාවේ කරන්න ඕන සිරිත් විරිත් සම්බන්ධව දෛවඥකාමධෙනු පොතේ විස්තර කෙරෙනවා . ඒවගේම හිසකෙස් කැපීම සම්බන්ධව ජ්‍යෝතිෂ කරුණුත් දීර්ඝ වශයෙන් මේ පොතේ විස්තර වෙනවා .

මේ කරුණු වලට සමාන ආකාරයේම කරුණු රාශියක් කවියෙන් අඩංගු වෙනවා දොන් පිලිප්ද සිල්වා ඈපා අප්පුහාමි ගුරුතුමා විසින් සම්පාදනය කරපු මුහුර්ත චින්තාමණිය කියන පොතේ .

තුන පස වරුස කුමරුට වූ කලේදි      ම
කපනෙය ඉසකෙස් පැවසූ බසේදි       ම
තුනකට බෙදූ කොටසක් ඉන් ගියාම   ම
සොඳළුව කියඹු කැපුමට පැවසු ආයෙ ම

කාලය මේ විදියට අතීතයේ නියම කරලා තිබුණත් අද වෙනකොට හිසකෙස් කැපීමේ කාලය වෙනසක් වෙලා තියෙනවා කියලා පේනවා . මොකද අද කාලේ දීර්ඝ කාලයක් දිග කොණ්ඩයක් තියාගෙන ඉන්න එක ප්‍රායෝගික වෙන්නේ නැති නිසා ඉපදිලා මාස තුනකට කලින් හිසකෙස් කැපීමේ මංගල චාරිත්‍රය ඉටුකිරීම සිදුවෙන නිසා .

හිසකෙස් කැපීමේ මංගල චාරිත්‍රය සම්බන්ධව කටයුතු කිරීම ඉතාම සැලකිලිමත්ව කරන්න ඕන කියලා ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධව කටයුතු කරන අයත් හිසකෙස් කැපීමේ චාරිත්‍රය සිදුකරන අයත් වගබලා ගන්න ඕන . මොකද දරුවෙකුගේ ජීවිතයේ තීරණාත්මකම අවස්ථාවක් විදියට හිසකෙස් කැපීමේ අවස්ථාව ගණන් ගැනෙනවා . සෞඛ්‍ය පැත්තෙන් දරුවෙකුගේ ස්ථාවර වීමට මේ හිසකෙස් කැපීමේ අවස්ථාව වැඩියෙන්ම දායක වීමක් වෙනවා . ඒවගේම ආයුෂ පැවැත්ම සම්බන්ධවත් හිසකෙස් කැපීමේ නැකත් වේලාවන් වැඩි දායකත්වයක් ලබා දෙනවා .

හිසකෙස් කපන කෙනා ගැන සඳහන් කරන්නම ඕන . හරි නම් චාරිත්‍රය අනුව හිසකෙස් කැපීම කරන්න ඕන කරණවෑමීයෙක් විසින් . දෛවඥ කාමධෙනු පොතෙත් , මුහුර්ත චින්තාමණියේත් කියවෙන්නේ ඒ විදියට . ඒ අද කාලේ මව පියා දෙන්නාගෙන් කෙනෙක් තමයි හිසකෙස් කැපීම කරන්නේ . මව පියා දෙන්නාගෙන් පියා හිසකෙස් කැපීම කරනවා නම් වඩාත් හොඳයි . ඒවගේම තමයි මව පියා දෙන්නාගෙන් වඩාත් නිරෝගී කෙනා හිසකෙස් කැපීම කරනවානම් තවත් හොඳයි .

මීට වඩා මම තවත් හොඳ දෙයක් යෝජනා කරනවා . තමන්ගේ ගමේ පන්සලේ නායක හාමුදුරුවන් ලවා දරුවාගේ හිසකෙස් කැපීම නැකත් වේලාවක් අනුව කරවන්න පුළුවන් නම් වැඩියෙන් හොඳයි . වෙනත් ආගම්වල අයට තමන්ගේ ආගමික පූජකයින් මේ වෙනුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් . ඒකෙ ගැටළුවක් වෙන්නේ නැහැ . අවශ්‍ය වෙන්නේ යහපත් ගතිපැවතුම් ඇති නිරෝගී කෙනෙක් හිසකෙස් කැපීම සිදුකිරීම .

දරුවා බඩගින්නේ ඉන්න වෙලාවක හිසකෙස් කපන්න එපා . මේ සිරිත කිරිබොන වයසේ කරන දෙයක් නිසා හිසකෙස් කැපීමේ නැකත් වෙලාවට කලින් දරුවාට කිරි දීලා නැකත් වෙලාවට දරුවා සම්බන්ධ කරගන්න පුළුවන් නම් තමයි හොඳ .


හිසකෙස් කැපීමේ මංගල චාරිත්‍රය වෙනුවෙන් මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා .

ජ්‍යෝතිෂ වේදියෙකු ලවා නිර්මාණය කරවාගත් සුබ වෙලාව සහ එදිනට සුබ දිශාව
වාලම්පුරියක් , දකුණට කැරකුණු හක්ගෙඩියක් හෝ ඒ නැත්නම් සාමාන්‍ය හක්ගෙඩියක්
අලුත් කතුරක් , දැලි පිහියක් හෝ රේසරයක්
දෑ සමන් , විළඳ , ඊතන ස්වල්පය බැගින් .
වතුර බේසමක් .


නිවසේ හිසකෙස් කැපීම කරනවා නම් නිවසේ පිරිසිදුම ස්ථානය මේ වෙනුවෙන් තෝරාගන්න . හොඳින් හිරු එලිය සහ වාතාශ්‍රය ලැබෙන තැනක් මේ වෙනුවෙන් සූදානම් කරගන්න .

නැකත් වෙලාවට පැයකට වගේ කලින්ත ඊතන විළඳ දෑසමන්මල් කීප වතාවක් හෝදලා පිරිසිදු කරලා වතුර බේසමකට දාන්න . ලොකු වතුර බේසමක් අවශ්‍ය වෙන්නේ නැහැ . සාමාන්‍ය පොඩි බේසමක් තිබුණම ඇති .

කතුර දැලි පිහිය හෝ රේසරය ඩිටෝල් සර්ජිකල් වගේ දෙයක් දාලා හොඳින් පිරිසිදු කරගන්න .

නැකත් වෙලාවට කලින් තමන් නිවසේ බුදුන් වඳින තැන මල් පහන් සුවඳ දුම් පූජා කරලා පන්සිල් අරගෙන දෙවියන්ට පිං දෙන්න .

ඊට පස්සේ නැකත් වෙලාවට කලින් තුන් වතාවක් මෙන්න මේ සංස්කෘත පාඨය නිවැරදිව උච්චාරණය කරමින් කියන්න .


පිරිමි ළමයෙක් නම්

පාලයන්තු සුරාඃ සර්වේ
ත්වාම විග්නං ශතායුෂා
සෘද්ධ්‍යා කාන්ත්‍යා ධියා ස්මෘත්‍යා
නිත්‍යං ත්වාමපිවර්ද්ධයෙත්


ගැහැණු ළමයෙක් නම්

පාන්තු සන්තානමෙව
ත්වාං ප්‍රසන්නා දේවමාතරඃ
දීර්ඝ මංගල සංයුක්තා
යූනා ත්වං සුභගා භව


මේ ස්තෝත්‍ර වලින් කියවෙන තේරුම මොකක්ද කියලා මේ image එකේ සඳහන් වෙනවා .





ඒ විදියට කියලා වාලම්පුරියට හෝ හක් ගෙඩියට අර බෙහෙත් වර්ග දාලා තියෙන වතුර භාජනයෙන් වතුර අරගෙන දරුවාගේ හිස් මුදුනේ තෙල් වලේ ඉඳලා දක්ෂිනාවෘතව හිස වටේ වතුර වත් කරන්න . ඊට පස්සේ බෙහෙත් කෑලි මූණට වැටෙන්නේ නැතිවෙන්න වතුර අරගෙන නළලට සහ මූණටත් වතුර වත් කරන්න . ඊට පස්සේ කතුර හෝ දැලි පිහිටය හෝ රේසරය අරගෙන හිස මුදුනේ ඉඳලා හිස වටේට හිස කෙස් කැපීම සිදු කරන්න ඕන .

හිසකෙස් කපලා මේ බෙහෙත් වතුරෙන් ම හිස සෝදලා හිසකෙස් කැපීමේ මංගල චාරිත්‍රය අවසන් කරන්න පුළුවන් . තමන් කැමති නම් විතරක් අවශ්‍ය තෙල් වර්ගයක් මේ වෙලාවේ හිසේ ගලවන්න . බටුතෙල් ළමයින්ගේ හිසේ ගාන්න හොඳයි . බටුතෙල් සපයා ගන්න බැරි නම් වෙනත් සුදුසු තෙල් වර්ගයක් යොදාගන්න .

මේ සිරිත් විරිත් සිදුකිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය සම්පන්න දීර්ඝායුෂ විඳින දරුවෙක් සමාජයට යොමු කිරීම . සිරිත් විරිත් කරේ නැහැ කියලා අපේ ළමයට නම් ඉහෙන් බහින රෝගයක් නැහැ කියලා මේකේ කමෙන්ට් කරන්න එපා . මේ සිරිත් විරිත් හරියට කරපු සමාජයට වඩා අද සමාජයේ ආයුෂ අඩුද වැඩිද කියලා තමන් විසින්ම හිතලා බලන්න .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

1 comment:

  1. ගොඩක් වටිනවා මල්වර සිරිත් ගැන ලිපියක් දාන්න..

    ReplyDelete