Breaking

Post Top Ad

Wednesday, August 7, 2019

නිවැරදි ස්වස්තිකය හඳුනාගන්න





වස්තු විද්‍යාව ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට එක එක සලකුණු සම්බන්ධව කතා කෙරෙනවා . ඇත්තටම යන්තර වගේ දේවල් වල වුණත් තියෙන්නේ යම් යම් සලකුණු තමයි . අකුරු කියන්නෙත් යම් සලකුණු එකතුවක් . අකුරු වලට තේරුමක් තියෙනවා . ඒ කියන්නේ ඒ ඒ අකුරු වලට අදාළ ශක්තියක් හිමි වෙනවා .

මිනිසුන් විශාල ප්‍රමාණයක් කතා කරන ලියන කියන භාෂාවක් වුණාම ඒ භාෂාවට ශක්තියක් හිමි වෙනවා . නාගර අක්ෂර වලට තමයි මම අත්හදා බලලා තියෙන විදියට වැඩිම ශක්තියක් හිමි වෙන්නේ . ඒත් ඊට වඩා පැරණි භාෂාවලට ඊට වඩා වැඩි ශක්තියක් හිමි වෙලා තියෙනවා . සමහර යන්තර සටහන්වල දකින්න ලැබෙන්නේ ඒවගේ වෙනස්ම අකුරු .

ඒත් අද වෙනකොට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ භාවිතා වෙන නාගර අක්ෂර වලට තමයි වැඩි ශක්තියක් හිමි වෙන්නේ . මෙන්න මේ වගේ අක්ෂරත් බිහි වෙන්න කලින් බිහිවුණු සංකේතයක් ගැන තමයි අපි අද කතා කරන්නේ .

“ ස්වස්තිකය “ තමයි ඒ සංකේතය . ස්වස්තිකය කිව්වාම ඕනෑම කෙනෙක් මතක් කරන්නේ හිට්ලර්ව . මොකද හිට්ලර් මේ සවස්තික සංකේතය පාවිච්චි කරපු නිසා . මමනම් විශ්වාස කරන්නේ හිට්ලර් අනුන්වත් තමන්වත් විනාශ කරේ සහ විනාශ කරගත්තේ මේ ස්වස්තිකය වැරදියට භාවිතා කරපු නිසා කියලා . මට මතකයි ජේතවනාරාම කැණීම් වලින් ස්වස්තික ලකුණු හමුවුණා කියලා . ඒ ස්වස්තික ලකුණ නිවැරදි පැත්තට තමයි පිහිටලා තියෙන්නේ . මේ ස්වස්තික ලකුණේ වැරදි නිවැරදි පැති මොනවද කියලා අපි බලමු






මේ ලෝකයේ පිහිටලා තියෙන සියලුම දේවල් පඨවි ආපෝ තේජෝ වායෝ සහ ආකාශ කියන පංච මහා ධාතූන් වලට අයත් වෙනවා . මේ පහ අතරේ පවතින ශක්ති ගලනය වීම තුලින් සමතුලිත තත්වයට පත්වෙලා තමයි මේ ලෝකයේ ඝන ද්‍රව වායු කියන දේවල් පවතින්න . මේ පැවැත්ම තේරුම් ගන්න එක සහ ඒවායේ විනාශය තේරුම් ගැනීම යම් ආකාරයකට ලෝකයේ සත්‍ය තත්වය අවබෝධ කරගැනීම කියලා කියන්න පුළුවන් .

මේ ශක්තීන් එකිනෙකා සමග බද්ධ කිරීමේ හැකියාවක් සහ සමතුලිත කිරීමේ හැකියාවක් මේ ස්වස්තිකය කියන සලකුණට හිමි වෙනවා . ස්වස්තික සලකුණ මගින් ආකර්ෂණය කරන ශක්තීන් විසින් ලෝකයේ පැවැත්ම නිසියාකාරව පවත්වා ගන්නවා කියලාත් කියන්න පුළුවන් . ස්වස්තිකයෙන් ශක්තිය සමතුලිත කිරීම මෙන්න මේ වගේ දෙයක් කියලා සරළව විස්තර කරන්න බැහැ .

මම ඇතුළුව හැමෝම කරන්නේ මේ ශක්ති සමතුලිත වීම සම්බන්ධව තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා යම් දුරකට හරි මේ පැවැත්ම කොහොමද කියලා විස්තර කිරීමක් . හැබැයි අවබෝධ කරගත්තොත් , මේ ස්වස්තික සලකුණ ඔස්සේ ශක්තිය හැසිරවීම කරලා ගොඩක් දේවල් කරන්න පුළුවන් . ආධ්‍යාත්මික ශක්තිය පවා හසුරුවන්න පුළුවන් මේ සලකුණ හරියට භාවිතා කරනවානම් .





ස්වස්තිකය කියන සලකුණ සහ ඒ සංකල්පය ආරම්භ වෙන්නේ මොන කාලයේ ඉඳලා ද කියලා පොත්වල සඳහන් කිරීමක් වෙන්නේ නැහැ . හොයාගන්නත් ඇත්තටම අමාරුයි . ඒත් බුදුන් වහන්සේගේ සිරිපතුලේ තියෙන මංගල ලකුණුවල ස්වස්තික සලකුණ අයත් වෙනවා . ඒ නිසා ඉතාමත් ඈත අතීතය දක්වා ස්වස්තික සලකුණ ශක්තිමත් සලකුණක් විදියට පැවතිලා තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් .

ජ්‍යෝතිෂ විද්‍යාව ඇත්තටම බුදු දහමට වඩා පරණයි . ජ්‍යෝතිෂ විද්‍යාවේ සහ හස්ත රේඛා විද්‍යාවේ ස්වස්තික සම්බන්ධව විස්තර කරන්නේ ඒවා මනුෂ්‍ය ශරීරයේ පිහිටන්නේ කොහොමද සහ ඒවා පිහිටීම නිසා මොනවද වෙන්නේ කියන කරුණු කාරණා එක්ක . යම් යම් ග්‍රහයින්ගේ බලපෑම ඔස්සේ මේ සලකුණු ඇතිවීම සම්බන්ධව මේ විෂයේ වැඩි දුර උගන්වලා තියෙනවා .

ඒ නිසා ස්වස්තික සලකුණ බුදු සිරිපතුලේ පිහිටියා වුණත් මේ සලකුණ මොකක්ද කියන එක ඊටත් ඈත අතීතයේ හිටපු අය දැනගෙන ඉඳලා තියෙනවා කියලා අපිට සාධාරණව හිතන්න පුළුවන් . හැබැයි මේ හැම තැනකම පිහිටලා තියෙනවා කියලා කියන්නේ දක්ෂිණාවර්ත ස්වස්තිකය . දක්ෂිනාවර්ත වෙනවා කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න බැරි වීම නිසා ස්වස්තිකය වැරදියට භාවිතා කිරීමක් තමයි අද කාලයේ වෙන්නේ .





නිවැරදි ස්වස්තිකය සුළඟ වැදීම නිසා කැරකෙන්නේ දකුණු පැත්තට . වැරදි ස්වස්තිකය , ඒ කියන්නේ විනාශ චක්‍රය කැරකෙන්නේ සුළඟ වැදිලා වම් පැත්තට . ඒත් මේ සුළඟ වැදීම කියන දේ ගැන හිතන්නේ නැතුව නිකන් රූපය දිහා බලාගෙන ඉන්නකොට අපිට හිතෙන්නේ විනාශ චක්‍රය දකුණටත් ස්වස්තික චක්‍රය වමටත් කැරකෙන විදියට තියෙනවා කියලා . ඒ නිසා දකුණට කැරකෙනවා කියලා වැරදියට හිතලා බොහෝ දෙනෙක් විනාශ චක්‍රය ස්වස්තිකය කියලා වැරදියට හඳුනාගෙන තියෙනවා .

ස්වස්තික ලකුණ අද වෙනකොට පෙරදිග රටවල්වල වගේම යුරෝපීය රටවල් වලත් භාවිතා වෙනවා කියලා අපිට දකින්න පුළුවන් . හැබැයි වැරදි පැත්තට තියෙන ස්වස්තිකය භාවිතා කරගෙන ආව සමහර රටවල් තමන්ගේ සලකුණ වැරදියි කියලා තේරුම් අරගෙන ඒ සලකුණේ පැත්ත අනික් පැත්තට හරවලා පාවිච්චියට අරගෙන තියෙනවා .


මේ තියෙන්නේ වැරදි ස්වස්තික ලකුණක්





මේ නිවැරදි ස්වස්තික ලකුණ





ස්වස්තික සලකුණ සටහන් කරලා සමහර නිවෙස් අතීතයේ හදලා තියෙනවා කියලා අපි දැකලා තියෙනවා . සමහර වලව්වලත් බිත්තියේ ඉස්සරහාම ලොකුවට ස්වස්තික සලකුණක් සටහන් කරලා තියෙනවා . මේ සලකුණ තියෙන නිවාසවල පරම්පරා තවමත් ජීවත් වෙනවා . ඒත් විනාශ චක්‍රය , ඒ කියනෙන් ස්වස්තිකය වැරදි පැත්තට සටහන් කරලා තියෙන නිවෙස්වල පරම්පරා දීර්ඝ කාලීනව පැවතිලා නැහැ . පරම්පරා කීපයකින් ඒ පවුල් නැවතිලා තියෙනවා . මේ පැවැත්මට ස්වස්තික සලකුණ වැරදියට භාවිතා කිරීම හේතු වෙලා තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් . මොකද වෙනත් වාස්තු දෝෂ අවම ප්‍රමාණයක තිබිලා මේ වරද ලොකුවට බලපාලා නිසා පරම්පරා විදියට එයාලා විනාශ වෙලා තියෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන් නිසා .

කොහොම වුණත් ස්වස්තික සලකුණ එසේ මෙසේ දෙයක් නෙවෙයි කියලා මතක තියාගන්න ඕන . ධනය ආකර්ෂණය කරන්න පවා ස්වස්තික සලකුණට හැකියාවක් තියෙනවා . ඒ කියනෙන් වැරදි ස්වස්තික සලකුණෙන් ධනය විනාශ කරන්නත් ඉඩ තියෙනවා .ඒ නිසා හරි ස්වස්තික සලකුණ භාවිතා කරන්න .

නිවැරදි ස්වස්තික සලකුණ තෝරාගන්න ඔයාලට මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතලා තමයි ස්වස්තිකය ගැන විස්තර ටිකක් අරගෙන ආවේ .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

No comments:

Post a Comment