Breaking

Post Top Ad

Monday, October 7, 2019

හෙනරාජ යන්ත්‍රයට නොදෙවෙනි වෙඩි වැළකුම් යන්ත්‍රය





හෙනරාජ තෙල් සම්බන්ධව මම ලිපියක් ලියලා පල කරා දැනට කාලයකට කලින් . ඊට පස්සේ හෙනරාජ යන්තරය ගැන දීර්ඝ කාලයක් පර්යේෂණ කරා . හෙනරාජ යන්තරය කියලා යන්තර කීපයක් හොයාගන්න ලැබුණා . ඊට පස්සේ යන්තර ගැන අධ්‍යනය කරනකොට තමයි මේ වෙඩි සැර වැදීම වළක්වන යන්තරය හොයාගන්න පුළුවන් වුණේ . මේ යන්තරේ වෙඩි සැර හී සැර කඩු පහරවල් වගේම තමයි රිය අනතුරු සිදුවීම් වලදී සිදුවෙන වාහන ගැටීම් පවා නවත්වන්න හැකියාවක් තියෙනවා කියලා පර්යේෂණ මගින් පැහැදිළි කරගෙන තියෙනවා . මේ නිසා ගැටීම් නිසා සිදුවෙන අනතුරු වළක්වා ගන්න මේ යන්ත්‍රය උපකාරී වෙනවා කියලා පැහැදිළිවම කියන්න පුළුවන් .

මේ යන්තරයට ශ්‍රියා කාන්තාව ආකර්ෂණය වෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ . ඒ නිසා යන්තරය සම්පූර්ණයෙන්ම ශ්‍රියා කාන්තාවට ආකර්ෂණය කරලා තමයි නිර්මාණය කරන්නේ . යන්තර තහඩුව ඇඳ ගැනීමේ ඉඳලා ජීවම් කිරීම දක්වාම මේ ශ්‍රියා කාන්තාවට යන්තරය ආකර්ෂණය කිරීම කෙරෙනවා . ඒ කරන්නේ ශ්‍රියා කාන්තාවගේ ආකර්ෂණයෙන් ආරක්ෂාව සලසා ගන්න .

මේ යන්තරය නිර්මාණය කරනකොට යන්ත්‍ර තහඩුව සමචතුරස්‍ර හැඩයට තමයි නිර්මාණය කරගන්නේ . අද කාලේ අච්චු මගින් හදන යන්තර දකින්න ලැබෙනවා . ඒ යන්තර වලට යන්ත්‍රය අඳිනකොට ලැබෙන ප්‍රාණ ශක්තිය හිමි වෙන්නේ නැහැ . ඒ නිසා යන්තරයට ප්‍රාණ ශක්තිය හිමි වෙන්න නම් අතින්ම අඳින්න ඕන . මේ යන්තරයත් එහෙම තමයි . මේකත් අතින් තමයි අඳින්න ඕන . අතින් ඇඳලා කළු මදින බෙහෙත් වර්ග අඹරලා කළු මැද ගන්න ඕන .

යන්තරේ ජීවම් කරත්දී පූජා ද්‍රව්‍ය විදියට පලතුරු වර්ග , පොල් , තැඹිලි , ගංගා ඇල දොළ මුහුද දියඇලි කියන ස්ථානවලින් ගත්ත ජලය තියන ඕන . ඒවගේම පන්චෝපචාර විධි වලින් මේ යන්ත්‍ර තහඩුවට පූජා පවත්වන්න ඕන . ඊට පස්සේ තමයි ජීවම් කිරීම කෙරෙන්න ඕන වෙන්නේ . ජීවම් කිරීම වැඩි වෙන තරමට යන්තරේ බලය වැඩි වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා .

ජීවම් කරනවා කියලා කරන්නේ ශබ්ධ තරංග මගින් තහඩුවේ අංශු කම්පනය වෙන ක්‍රියාවලිය අවශ්‍ය ආකාරයට සකසනවා වගේ දෙයක් . කොයි යන්තරේ වුණත් වෙන්නේ ඒ තත්වය තමයි . මේ තියෙන සංකේත වලින් සහ මන්තරවල තියෙන ශක්තියෙන් මේ යන්තරේ ජීවම් කරගත්තට පස්සේ කෙනෙක්ට පළඳින්න පුළුවන් .

යන්තරවල ඇත්ත නැත්ත හොයන්න ඒවා අනවශ්‍ය විදියට පරීක්ෂා කරන්න සමහරු ඉදිරිපත් වෙනවා . යන්තර වලින් කෙරෙන්නේ ස්වභාවික තත්වය පාලනය කිරීමක් . දෙවියන්ට හිමි කරලා දෙන යන්ත්‍රයකට වෙඩි තියලා බලන්න ඉදිරිපත් වෙනවානම් ඒ කෙනාට දෝෂයක් ඇතිවෙනවා . හැබැයි ඉතින් කැමති නම් කැමති කෙනෙක්ට මේ යන්තරය නිවැරදිව හදලා ජීවම් කරවලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් වෙඩි වදිනවද කියලා .

මෙහෙම යන්තරයක් තියෙනවා කියලා මම සටහනක් තියන්න කල්පනා කරේ මම මේ ළඟදී දවසක ෆේස්බුක් හරහා තියන්න යෙදුනු සටහනක් නිසා . මේ ඒ සටහන .

මම බොහොම කාලෙකට කලින් ලිව්වා හෙනරාජ තෙල් සහ රාජ තරංගනී තෙල් සම්බන්ධව ලිපි දෙකක් . මේ ලිපි දෙක කියවලා කීප දෙනෙක්ම මට කිව්වා හිරුදැපන තෙල් සහ නාරානන්ද විෂ්ණුරාජ තෙල් ගැන ලියන්න කියලා .

මම ඒ ගැනත් ලොකු විස්තරයක් ලිව්වා . අද ලංකාවේ චැනල් වල හරි ලොකුයි කියලා හිතාගෙන කතා කරන කඩුවෙල පැත්තේ ජ්‍යෝතිෂ වේදියෙක් කියාගන්න කෙනෙක් සහ රාගම පැත්තේ ඇදුරෙක් කියලා කියන කෙනෙක් මගේ මේ ලිපි කොපි කරලා තමන්ගේ වෙබ් සයිට්වල දාගෙන ලොකු මුදලකට තෙල් විකුණනවා .

ඒකට කමක් නැහැ . මොකද මට එයාලා තරඟයක් නෙවෙයි , මමත් එහෙම දේවල් කරන කෙනෙක් නෙවෙයි නිසා . ඒත් මම ඒ තෙල් වර්ගවල වට්ටෝරු දැම්මේ අඩුපාඩු සහිතව . ඒවගේ තෙලක වට්ටෝරුව ෆේස්බුක් වගේ සිල්ලර මාධ්‍යයක public දාන්න තරම් මට සිහි විකල් වීමක් නැහැ .

මොකද ඒවා පරම්පරාවලින් ගමන් කරන රහස් සහිත දේවල් නිසා . අඩුම තරමේ මේ තෙල් වලට මතුරන මන්තරයක් වත් එහා මෙහා කරලා තියලා තමයි මේවා පරෙස්සම් කරන්නේ . ඒ වැරදි මිනිහා අතට ආයුධයක් යන්න හොඳ නැති නිසා . ගුරු මුෂ්ටි කියලා එකක් හැදුනේ මේ ලෝකේ ඒ නිසා .

මේ වට්ටෝරු කොපි කරලා තමන්ගේ වගේ දාගෙන තෙල් විකුණන අය ඒ වට්ටෝරුවේ වැරැද්ද වත් තේරුම් ගන්න දන්නේ නැහැ . ඒ නිසා තමයි එහෙම ඒවා දාගෙන විකුණන්නේ . මගේ වචන වලින්ම අපේ පවුලේ අය ගැන මම ලියලා තියෙන ඒවාම එයාලා එයාලාගේ වගේ දාගෙන තියෙනවා .

දුකක් නැහැ . මොකද මම ඒවා දන්නවා වුණාට කිසිම අවස්ථාවකදී කරන්නේ නැති නිසා . හැබැයි ඒවාට අහුවෙන මිනිස්සු ගැන දුකයි දුකයි දුකයි කියලා තමයි කියන්න තියෙන්නේ . රාගම පැත්තේ හරි කඩුවෙල පැත්තේ හරි යනවානම් මේවගේ තෙල් ගන්න , දෙපාරක් හිතන්න .

දැනටමත් අරගෙන නම් සුරේ තැඹිලි ගෙඩියක ගැට ගහලා හොඳ වෙඩික්කාරයෙක් ලවා වෙඩි තියලා බලන්න .


ඒ නිසා ඒවගේ දේවල් වලට රැවටෙනවා ට වඩා මේ වගේ දෙයක් යන්ත්‍ර විද්‍යාව අනුව නිසියාකාරව හදලා පාවිච්චි කරන්න උත්සාහ කරන්න . හිඳපු හැටි දන්නේ නැති , හිඳපු හැටි දැකල නැති මතුරලා ද කියලා වත් දන්නේ නැති දේවල් වලට අහුවෙනවද නැත්ද කියලා ඔයාලාම තීරණය කරන්න .

තවත් ලිපියකින් හමුවෙමු !
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

No comments:

Post a Comment