Breaking

Post Top Ad

Wednesday, September 5, 2018

ගෞරවනීය දේවේන්ද්‍ර




මගේ විෂයන් එක්ක දැනට බ්ලොග් එකේ ලියන්න අවස්ථාවක් උදාකරගත්තේ නැති විෂය තමයි වාස්තු විද්‍යාව . මිනිසා පරිණාමය වීමත් එක්කම ගල් ගුහාවල වාසය කිරීම අතෑරලා තමන් විසින්ම නිවාස හදාගෙන ඒ නිවාසවල වාසය කරන්න පුරුදු වීමත් එක්කම වාස්තු විද්‍යාවත් ටික ටික දියුණු වෙන්න ගත්තා . වාස්තු විද්‍යාවේ ආරම්භය සම්බන්ධව මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ . ඒත් වාස්තු විද්‍යාවේ මූලික හරය මොකක්ද කියලා මුල්ම ලිපියේ ඉඳලා මතක් කරන්න මට යුතුකමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා .

තාරකා විද්‍යාව පිළිබඳව මිනිසා මුලින්ම අවධානය යොමු කරන්නේ තමන් විසින් ගෘහාශ්‍රිතව ඇතිකරන ගවයින් සොයා යෑම නිසා . තාරකා විද්‍යාව ඊට පස්සේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රය දක්වා පරිවර්තනය වුණා . මේ විශ්වයේ පවතින ප්‍රධාන තාරකා සහ ග්‍රහ වස්තූන් එක්ක මහ පොළව සමතුලනය වෙලා තියෙන්නේ කොහොමද ? ඒ සමතුලනය වීම සහ අසමතුලිත වීම මිනිසාට බලපාන්නේ කොහොමද කියලා ඒ කාලයේ ජීවත්වුණ මහා අභිඥ්ඥා ලාභී සෘෂිවරු තමන්ගේ තුන් කල්දක්නා නුවණින් පරීක්ෂා කරලා තමයි මේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රය නිර්මාණය කරන්නේ .

පොළවට පිටතින් තියෙන මේ ශක්තීන් ස්වභාවිකව සමතුලනය වීම පරීක්ෂා කරනවා වගේම තමයි මේ සෘෂිවරුන් පොලවේ පවතින ශක්තිය සහ ස්වභාවික පරිසරය නිවාස සහ වෙනත් ගොඩනැගිලි තැනීම නිසා වෙනස් වෙන්නේ කොහොමද කියලාත් පරීක්ෂා කරලා ඒ විදියට හදන නිවාස සහ ගොඩනැගිලි වලින් ස්වභාවික පරිසරයට හානියක් වෙන්නේ නැතුවත් , මිනිසාට හානියක් වෙන්නේ නැතුවත් ජීවත් වෙන්න වාස්තු විද්‍යාව කියන විෂය නිර්මාණය කරා .

වාස්තු විද්‍යාවෙත් ඉන්නවා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉන්නවා වගේම ප්‍රධාන සෘෂිවරු දහ අට දෙනෙක් . ජ්‍යෝතිෂයේ ඉගැන්වෙන අටළොස් මහා සෘෂිවරුන් වගේම තමයි වාස්තු විද්‍යාවේ ඉගැන්වෙන අටළොස් මහා සෘෂිවරුන් . සමහර සෘෂිවරුන් මේ නාම ලේඛන දෙකේම දකින්න ලැබෙනවා . ඒවගේම තමයි මූලික විෂය අඩංගු වෙලා තියෙන්නේ මේ සෘෂිවරුන්ගේ මූලික ග්‍රන්ථවල . මේ දක්වා පැවතගෙන ආව කාලයේ යම් යම් සුළු වෙනස්කම් වලට ලක් වුණත් මේ සෘෂිවරුන්ගේ ඉගැන්වීම් වෙනස්වෙලා නැහැ .

පෞද්ගලිකව මගේ විෂය ග්‍රහණය කරගැනීම වාස්තු විද්‍යාවට වඩා ජ්‍යෝතිෂ විද්‍යාවේදී ටිකක් වේගවත් . ඒ නිසා ජ්‍යෝතිෂය මුලින් තේරුම්ගන්න පුළුවන් වුණත් වාස්තු විද්‍යාවේ සංකල්ප පැහැදිළි කරගන්න යම් කාලයක් මම ගත්තා . දැන් තියෙන්නේ ලියන්න සහ ප්‍රායෝගික ලෝකයට ඒවා අරගෙන එන්න . අද මේ ලිපියෙන් මම ඒ වැඩ දෙකම ආරම්භ කරනවා .

ඒ ආරම්භය මම දෙන්නේ පාරම්පරිකව වාස්තු විද්‍යාවේ ඉහළම තැනක තියලා අපි ගරුබුහුමන් දක්වන මූලාචාරී තුමාට . ඒ දෙවුන්දරින් කොත්මලේටත් කොත්මලෙන් මහනුවරටත් මහනුවරදී මහ වාසලේ පට්ටල් භාර නිලධාරියෙක් වෙන්නත් වාසනාව අරගෙන ආව අපේ ජ්‍යෙෂ්ඨයා ; ගෞරවනීය දේවේන්ද්‍ර මූලාචාරී තුමාට .

දේවේන්ද්‍ර නාමය සහ දේවේන්ද්‍ර පරපුර ගැන පර්යේෂණ පවත්වපු විද්වතුන් කියන්නේ මේ පරම්පරාව දෙවිනුවර විෂ්ණු දේවාලයේ වැඩ කටයුතු සඳහා දකුණු ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වාගත්ත පරම්පරාවක පිරිස කියලා . මේ මතය ඇත්ත එකක් වෙන්න පුළුවන් කියලා යම් විශ්වාසයක් තියන්න පුළුවන් . මොකද දෙවුන්දර ප්‍රදේශයේ තවමත් දකින්න ලැබෙන පෙළපත් නාම ඉන්දියාවෙන් ලංකාව ආව නම් . එහෙම කියනකොට උදාහරණයක් විදියට මට මතක් වෙන්නේ අන්රාහැන්නදි කියන නම . ආන්ද්‍ර දේශයෙන් ලංකාවට ආව පිරිසක් ගැන තමයි මේ අන්රාහැන්නදි කියලා කියන්නේ . ආන්ද්‍රහැන්නදි කියන නම පස්සේ අන්ද්‍රාහැන්නදි වෙලා පසුකාලීනව අන්රාහැන්නදි වෙලා තියෙනවා . රජවාසල කවටයා විදියට හඳුන්වපු අන්දරේ ත් දෙවිනුවර උපන් කෙනෙක් . අන්දරේ ගැන ඒ විදියේ උපහාසාත්මක දේවල් වලට සම්බන්ධ පුද්ගලයෙක් කියලා කතා ගෙතිලා තිබුණට , අන්දරේ කියන කෙනා වස්කවි සෙත්කවි ගණ මාත්‍රා චන්දස් ශාස්ත්‍රය වගේම ගුප්ත විද්‍යාව වගේ දේවලුත් දැනගෙන හිටපු කෙනෙක් කියලයි මම අහලා තියෙන්නේ . ආන්ද්‍ර දේශයෙන් ලංකාවට ආව පරපුරක කෙනෙක් කියලයි අන්දරේ හඳුන්වන්නේ . අන්දරේ ට අන්දරේ කියලා නම වැටෙන්නේ ආන්ද්‍ර දේශයෙන් ආව පෙළපතක නිසා කියලා විස්තර කෙරෙනවා .

ඒ අනුව බලනකොට දෙවිනුවර වාසය කරන පරපුරවල් විශාල ප්‍රමාණයක මූලික ආරම්භය වෙලා තියෙන්නේ ඉන්දියාව . ඒ නිසා දේවේන්ද්‍ර පරපුරත් ඉන්දියාවෙන් ආව පරපුරක් කියලා පිළිගැනෙනවා . හැබැයි පසුකාලීනව දේවේන්ද්‍ර පරපුර කොත්මලේ ප්‍රදේශයට සංක්‍රමණය වෙලා තියෙනවා . කොත්මලේ ප්‍රදේශයේ ස්වභාවික ලෝහ නිස්සාරණය කරන උඳුන් එහෙම හොයාගන්න ලැබුණු නිසාත් අපිට හිතන්න පුළුවන් මේ ප්‍රදේශයේ ඔය ආචාරී පරපුරවල් ජීවත් වෙන්න ඇති කියලා . තවත් කතාවක් තියෙන්නේ කොත්මලේ ප්‍රදේශයේ වාසය කරන ලද දේවේන්ද්‍ර පරපුරේ කෙනෙක් දෙවුන්දරින් විවාහයක් කරගෙන දේවේන්ද්‍ර පරපුර දෙවුන්දර ප්‍රදේශයට සම්බන්ධ වුණා කියලා .

කොහොමහරි මෙන්න මේ විදියට දේවේන්ද්‍ර පරපුර මහනුවර ප්‍රදේශයට සංක්‍රමණය වුණා කියලා කියන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ . කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම තිබ්බ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරගෙන කරගෙන යන අතරවාරයේ කොත්මලේ ජීවත්වුණ දේවේන්ද්‍ර පවුල මහනුවරට ගෙන්නලා පදිංචි කරවන්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් . මොකද ශිල්පීය දක්ෂතාවය වගේම පාරම්පරික උරුමයක් තියෙන ඒවගේ ශිල්පියෙක් සහ ඔහුගේ පිරිස රජවාසල ආසන්නයේ පදිංචි කරවාගැනීම නිසා රජතුමාගේ නිර්මාණ කටයුතු වලට උපදෙස් සහ ඒවා පරිපාලනය කරන්න පහසු වන නිසා .

දේවේන්ද්‍ර මූලාචාරියා රජවරුන් තුන් දෙනෙක්ට සේවය කරා කියලා සඳහන් වෙනවා . කීර්ති ශ්‍රී රාජසිංහ , රාජාධි රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ කියන රාජසිංහයින් තුන්දෙනාටම දේවේන්ද්‍ර මූලාචාරීන් තමන්ගේ ජීවිත කාලයේ සේවය කරා කියලා සඳහන් වෙනවා .

දේවේන්ද්‍ර මූලාචාරීන්ගේ අද්විතීය නිර්මාණ විදියට අදටත් අපිට පැහැදිළිවම පේන්න තියෙන්නේ දළදා මාළිගාවේ පත්තිරිප්පුව , මගුල් මඩුව , වලාකුළු බැම්ම , දළදා මාලිගාවේ දිය අගල , දළදා මාලිගාවේ ප්‍රාකාර බැම්ම , නුවර වැව , වැව මැද තියෙන දියතිලක මණ්ඩපය , උල්පැන්ගෙය කියන නිර්මාණ . මීට අමතරව ප්‍රතිසංස්කරණය කරන ලද වෙහෙර විහාර සහ වැඩි ප්‍රමාණයක් අලුතෙන්ම නිර්මාණය කරන ලද වෙහෙර විහාරවල නිර්මාණ දායකත්වය හිමිවෙන්නේ දේවේන්ද්‍ර මූලාචාරීන්ට .









මෙන්න මේ පඩිපෙළ නිතරම මට දේවේන්ද්‍ර මූලාචාරීන්ව සිහිපත් කරවනවා . නිතරම නුවර යන එන නිසා මේ පඩිපෙළ ඔස්සේ සාමාන්‍යයෙන් නිතරම ගමන් කෙරෙනවා . පඩිපෙළ ඈත තියා දකිනකොට දේවේන්ද්‍ර මූලාචාරී තුමාව මතක් වෙන්නේ වැඩියෙන්ම මේ පඩිපෙළ නිර්මාණය කරලා තියෙන පිළිවෙල නිසා වෙන්න ඕන .

ඔය විදියේ නිර්මාණය කිරීම් වලට දායක වෙන දේවේන්ද්‍ර මූලාචාරී තුමාට වර්ෂ 1780 දී රන් නළල්පතක සටහන් කරලා දේවේන්ද්‍ර කියන නාමයත් මූලාචාරී කියන නාමයත් ප්‍රධානය කරලා තියෙනවා . සාමාන්‍යයෙන් මේ වගේ නාමයක් ලැබෙනකොට ගම්වර එහෙමත් ලැබෙනවා . ගම්වර ලැබෙනවා වගේම තමයි අලි ඇතුන් එහෙමත් ලැබෙනවා . මේ කියන සියළුම දේවල් දේවේන්ද්‍ර මූලාචාරීන්ට ලැබුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා .

දේවේන්ද්‍ර මූලාචාරීන්ට ලැබුණු විශේෂම වරප්‍රසාදය තමයි රජතුමාගේ සිංහාසනය , ඔටුන්න , ආභරණ සහ කඩුව කියන රාජකාරි හතර . මේ නිසාම රජෙකුට හැරෙන්න ඔටුන්න හිස පළඳින්නත් , සිංහාසනයේ හිඳගන්නත් , ආභරණ පරීක්ෂා කරන්නත් කඩුව පරීක්ෂා කරන්නත් කියන වරප්‍රසාද හතරම දේවේන්ද්‍ර මූලාචාරීන්ට හිමිවෙලා තිබුණා . මේ කරුණු කාරණා තුන නිසා දේවේන්ද්‍ර මූලාචාරීන්ට සතුරු කුමන්ත්‍රණ සහ ඊර්ෂ්‍යා කිරීම් ඇතිවුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා .

මොකද දේවේන්ද්‍ර කියන්නේ මහවාසලේ නිළමේ කෙනෙකුට වගේම සැලකිලි ලැබුණු කෙනෙක් . ඒ නිසා උපතින්ම නිලමේ පදවියට හිමිකම් කියාගෙන ඇවිත් ඒ පදවි උරුමකරගත් අය දේවේන්ද්‍ර ට ඊර්ෂ්‍යා කරා . නිර්මාණ කරන්න කරන්න රජතුමාගේ පැසසුමට ලක්වෙනවා වගේම තමයි අර කුමන්ත්‍රණත් වැඩි වුණා .

ඒ කෙසේ වෙතත් දේවේන්ද්‍ර මූලාචාරීන් තමන්ගේ නිර්මාණ කාර්යය දිගටම කරගෙන ගිහින් තියෙනවා . කොන්ක්‍රීට් නැති කාලෙක කොන්ක්‍රීට් වලට වඩා කල් පවතින විදියට නුවර වැව වගේ ජලය එක්ක නිතරම ගැටෙන නිර්මාණ සැලසුම් කරලා ඒවා ප්‍රායෝගිකව ඉදිකිරීමට එතුමන්ට හොඳ ශිල්පීය හැකියාවක් තිබිලා තියෙනවා . ඒවගේම තමයි එතුමා භාවිතා කරන ලද වාස්තු විද්‍යාත්මක ක්‍රමශිල්ප අතීතයේ සෘෂිවරු නියමකරන ලද න්‍යායාත්මක දැනුම එක්ක ඉතා හොඳින් ගළපලා තියෙනවා .

දේවේන්ද්‍රයන්ට මිය යන්න වෙන්නේ තමන්ගේ ජීවිතය තමන් විසින්ම සාදවන ලද නුවර වැවට බිලි දීලා . ඒකටත් හේතු වෙන්නේ මහවාසල කුමන්ත්‍රණය කිරීමක් . දේවේන්ද්‍ර මූලාචාරී තුමා තමයි ඔය මගුල්මඩුව නිර්මාණය කරලා තියෙන්නේ . මගුල් මඩුවේ වැඩ කටයුතු කරගෙන යන අතරවාරයේ කුමන්ත්‍රණයක් මගින් මගුල් මඩුවේ ලී කණුවල උසේ වෙනසක් කරලා කැපීම කියන වරදට දේවේන්ද්‍ර මූලාචාරී තුමාව වරදකරු බවට පත් කරනවා . ඊට පස්සේ රජතුමා කරුණු කාරණා හොයලා බලන්නේ නැතුවම නියම කරනවා දේවේන්ද්‍ර මූලාචාරීන්ගේ ඇඟිලි කපන්න කියලා . කතාව තියෙන්නේ දේවේන්ද්‍රට රජතුමා තර්ජනය කරා කියලා ඇඟිලි කපනවා කියලා . ඊට පස්සේ තමන්ගේ පරපුරට වෙච්ච අවමානය නිසා හිතේ අමාරුවටම දේවේන්ද්‍ර මූලාචාරීන් නුවර වැවට පැනලා සියදිවි හානි කරගෙන තියෙනවා .

රජතුමා ඇත්ත කතාව දැනගත්තට පස්සේ දුකටම තමන්ගේ ඇඟිල්ලක් හපාගත්තා කියලත් කතාවක් තියෙනවා . කෙසේ වෙතත් තවත් කාලයක් දේවේන්ද්‍ර මූලාචාරීන් හිටියානම් නුවර තවත් වෙනස් වෙන්න ඉඩ තිබුණා කියලා හිතෙනවා . සමහරවිට දළදා මාලිගාවට තවත් අංග එකතු වෙන්න හෝ තියෙන ස්වරූපය වෙනස් වෙන්න ඉඩ තිබුණා .

දේවේන්ද්‍ර මූලාචාරීන්ගේ නිර්මාණවල හොඳ නරක එකක් එකක් ගානේ විස්තර කරන්නේ නැහැ මම . ඒවා ඒ දේවල් දකිනකොට ඔයාලටම හිතාගන්න පුළුවන් වෙයි . සාම්ප්‍රදායික ශිල්පීය දැනුමේ සාඩම්බර අවසාන හිමිකරු විදියට මම දකින්නේ දේවේන්ද්‍ර මූලාචාරීන් . ඒනිසා වාස්තු විද්‍යාවට එතුමාව මතක් කරලා පිවිසෙන්න මම කල්පනා කරා . නැවතත් දේවේන්ද්‍ර කෙනෙක් ලංකාවේ ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

එහෙනම් අද ඉඳලා වාස්තු විද්‍යාව කියන කැටගරි එකටත් අලුතෙන් ලිපි එකතු වේවි . ඒවා සාම්ප්‍රදායික සෘෂි මතය වගේම නවීන ගෘහනිර්මාණ ශිල්පීය මතයත් එක්ක මිශ්‍ර වෙයි . අපි ඉදිරියට බලමු ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

No comments:

Post a Comment