Breaking

Post Top Ad

Wednesday, September 5, 2018

දරුඵල සහ කේන්දරය




මේකත් නිකමට වගේ ප්ලේ කරලා බලන්න .







දැනට ටික දවසකට කලින් මම කියවපු කේන්දරයක කතාවක් කියලම මම මේ ලිපියට පූර්විකාව තියන්නම් . මම කේන්දරේ බලනවත් එක්කම එයාගෙන් ඇහුවා මොනවද බෙහෙත් කරනවා කියලා දරුපල වෙනුවෙන් කරේ කියලා .

මේ තියෙන්නේ එයාගේ වචනවලින්ම ඒ අය කරපු දේවල් . කවුද හරි කවුද වැරදි කියලා ඔයාලා තීරණය කරන්න . ඒ ගැන මගේ අදහස මම නොකියා ඉන්නම් . එහෙනම් මේ කතාව කියවලා බලන්නකෝ . කතාවෙන් පස්සේ අපි බලමු දරුවන් සහ කේන්දරය කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා .


මම මුලින්ම ABCD කියල doctor  කෙනෙක් ගෙන් බෙහෙත් ගත්තා .එය අපි දෙන්නටම බෙහෙත් දුන්න.බෙහෙත් කන්දක් බිව්වා . ඒ , අපි කන බොන කෑම වල විෂ ද්‍රව්‍ය වැඩි නිසා ඒවා ශරීරෙන් අයින් වෙන්න ඕනි කියල.ඒ doctor තනිකර දුන්නේ anti-biotin . මට ඒ කලේ urine trouble එකක් නිතරම තිබුන . කොහොම හරි ඒ බෙහෙත් බොන අතරතුරේදීම ඒක දරුණු උනා . මාව hospital admit කරලා දවස් 7ක් එක දිගට IV -meropanam කියල බෙහෙතක් selaine  වලට දාල දුන්න . මම අඟුරු කෑල්ලක් වගේ කළු උනා ඒ බෙහෙතට . අපේ family doctor තමා මව ඇඩ්මිට් කරන්න කිව්වේ . ඊට පස්සේ එය කිව්වා ටික කාලයක් යනකන් VOG doctor ගෙන් බෙහෙත් ගන්න එක නවත්තන්න කියල . ඊට පස්සේ මාස  6ක් විතර මම  බෙහෙත් ගන්න ඒක නැවැත්තුවා . ඒ වෙනකොට මගේ VOG doctor මෙහෙන් transfer  වෙලා පානදුරට ගිහින් තිබුනා . ඊට පස්සේ මම දන්නා midwife ඇන්ටි කෙනෙක් මාව GHIJK කියල VOG කෙනෙක් ගාවට යැව්වා . එයා කිව්වේ මගේ බර අඩු කරගන්න කියල . ඇඟේ සීනි ගතිය එන්න පුළුවන් කියල මට GLUMET කියල බෙහෙතක් දිගටම දුන්රනා . තව තව බෙහෙත් දුන්න . ඒ කොහොම උනත් ඒ doctor එක්ක කිසි දෙයල් කතා කරන්න බැ , අපි නිකන් අත පල්ලෙන් වැටුන ගානට කතා කරන්නේ . දන්නේ නැති කිසි දෙයක් අහන්න බැ බනිනවා . ඉතින් මහත්තය කැමති උනේ නෑ  එයා ගාවට යන්න . අනික ඒ වෙනකොට මට gastritis හොදටම වැඩි වෙලා බෙහෙත් වලටම . ඊට පස්සේ XYZ කියල doctor කෙනෙක් ලඟට මාස 2ක් විතර ගියා . එයා මට බෙහෙත් විද්දා . එයත් කිව්වේ බර අඩු කරගන්න කියල . ඒ මනුස්සයා  නම් දෙවි කෙනක් වගේ . හරිම කරුණාවන්තයි . ඒ උනාට මල්ලි , ඒ වෙනකොට මගේ රතු කට්ට පැනල තිබුනේ . මට කෙලින් කටින් ඉන්න බැ . ගැස්  වැඩි වෙලා , අඩි 2,3ක් ඒක දිගට ඇවිදින්නවත් බැ . කකුල් අත පය කැක්කුම . මට හැම දේම එපා වෙලා හිටියේ . බෙහෙත් වලටම මාව යට වෙලා . මම අන්තිමට තීරණයක් ගත්තා බබාල  නැතත් මම නිරෝගී වෙන්න ඕනි කියල . මහත්තය උනත් කැමති උනේ නැ දිගටම මෙහෙම වද විඳිනවට.
ඊට පස්සේ ඔක්කොම තියෙද්දී මම PQRST කියල doctor කෙනෙක් ගෙන් ගෑස් වලට බෙහෙත් ගන්න ගියා . එයා මගේ බඩ scan කරල කිව්වා අක්මාවේ තෙල් කියලා , අනිඅක මගේ blood බලලා  කිව්වා මගේ අක්මාවේ cells විනාශ වෙමින් යනවා කියල . දිගටම බෙහෙත් ගත්ත නිසා වෙන්න ඇති . දිගටම ඔය තත්වේ තිබුනොත් cancer එකක් දක්වා යන්න පුළුවන් කිව්වා.

එයාගේ බෙහෙත් වලට මට දැන් ගෑස්  ගතිය ගොඩක් අඩු උනා.
දැන් නම් බෙහෙත් බොන්නේ නැ. ආයේ මාස 3කින් blood එකක් බලාගෙන එන්න කිව්වා.

ඔන්න ඕක තමයි කතාව . ඒ කතාව කියනකොට මට තවත් කතාවක් මතක් වුණා . ඒකත් කියලම දරුපල ගැන අපි කතා කරමු . මේ කතාව මට කිව්වේ අපේ ආච්චිඅම්මා . 

මාතර මහගෙදර විකුණලා අපි එහේ ගෙදර බඩු අස්කරනකොට තමයි මට අපේ ඔය පවුලේ පොත් පත් තියෙන පෙට්ටගම ඉස්සෙල්ලම හොයාගන්න ලැබුණේ . කොහොමහරි පෙට්ටගමේ යතුර මට දෙන පිළිවෙලට දීලා මම ඕවා අකුරක් නෑර කියෙව්වට පස්සේ දවසක් මට පෙට්ටගමේ හැංගිලා තිබිලා තවත් පාර්සලයක් ලැබුණා . එතකොට මම හිතන්නේ මම 9 වසරටවත් ඇවිත් නැතුව ඇති . මම මේ පාර්සලය අරගෙන හෙමින් සීරුවේ දිගෑරලා බැලුවා . ඒකෙ තිබ්බේ තඹ පත්තිරු මිටියක් . එක එක වර්ගයේ යන්තර ඇඳලා තිබුණු තඹ පත්තිරු මිටියක් . 

මේ යන්තර සමහර ඒවා අපේ පොත්වල ලියලා තිබුණෙත් නැහැ . මම හැම එකක්ම අරගෙන විමසිල්ලෙන් බැලුවා . සමහර යන්තරවල අයිතිකෙනාගේ නම පවා තිබුණා . ඊට පස්සේ අපේ ආච්චිඅම්මා ඔය යන්තර මිටිය අරගෙන එකක් එකක් ගානේ බලලා ඒ හැම එකක් ගැනම විස්තර කරලා ඒවා ළඟ තියාගන්නේ නැතුව ගඟට දාන්න කියලා කිව්වා .






ඒ යන්තරවල තිබ්බ එක යන්තරයක් ගැන ආච්චිඅම්මා ගොඩක් විස්තර මාත් එක්ක කිව්වා . ඒ යන්තරේ දරුවන් නැතුව අවුරුදු හතකටත් වඩා වැඩි කාලයක් හිටපු දෙන්නෙක්ට තමයි දාලා තියෙන්නේ . ඒ ගෑනු කෙනා හැමදාම මහගෙදර ඇවිත් අපේ ආච්චි එක්ක දුක් ගැනවිලි කියනවාලු දරුවන් නැති නිසා පවුලේ ප්‍රශ්න කියලා . පස්සේ ආච්චි අම්මා අපේ මී මුත්තට මේ කතාව කියලා තියෙනවා . ඒ කාලේ මී මුත්තා වෙදකමත් ටිකක් අඩුවෙන් කරපු කාලයක් අසනීපකම් තිබුණු නිසා .

ඒ නිසා වෙලාවත් තියෙන නිසා යන්තරයක් දාමු කියලා තමයි ඔය යන්තරේ දාලා තියෙන්නේ . අද කාලේ වගේ යන්තර දැමීමක් නෙවෙයි  . මාස තුනක් දවසට වරු දෙක ගානේ වරුවකට එකසිය අට වාරයක් ගානේ ජීවම් කරලා තියෙනවා ඒ යන්තරේ . ඊට පස්සේ තමයි ඕක බෙල්ලේ ගැටගහලා තියෙන්නේ . මාස තුනකට පස්සේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා . ඊට පස්සේ ඒ අයගෙන් මේ යන්තරේ ආයෙත් අරගෙන මහ ගෙදර තමයි තියලා තිබිලා තියෙන්නේ . අද කාලේ බෙහෙත් වලට වඩා ඒ කාලේ ඒ ප්‍රතිකර්ම හරි ගිහින් තියෙනවා .

අද එහෙම දේවල් කරන්න මිනිස්සුත් නැහැ සහ බටහිර වෙදකමටම වහල් වෙලා ඉන්න නිසාත් කන්නේ වස විස නිසාත් දරුවන් ලැබීම සම්බන්ධව එක එක විදියේ ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා . හැබැයි සිංහල වෙදකම තවමත් ශක්තිමත් මේ ප්‍රශ්නයේදී . බටහිර වෙදකම ශක්තිම නැහැ කියනවා නෙවෙයි . ඒත් බටහිරට යන්න බැරි වෙච්ච පැති වලට සිංහල වෙදකම සම්බන්ධ වෙලා තියෙනවා . ඒ නිසා මගේනම් මතය දරුපල ප්‍රශ්න තියෙනවනම් බටහිර වෙදකම් කරලා හරියන්නෙත් නැත්නම් සිංහල වෙදකම පැත්තට පොඩ්ඩක් ගිහින් බලන්න කියන එක තමයි .





හරි එහෙනම් අපි එමු අපේ මාතෘකාවට . කේන්දරය සහ දරුපල .

විවාහයක් වෙනවානම් පොරොන්දම් බලනවා වගේම , කේන්දර ගැළපනවා වගේම තමයි ජ්‍යෝතිෂ්‍ය දන්නා මහත්වරු විදියට දරුපල ගැනත් ඉඟියක් දෙන එක යුතුකමක් . මොකද එතකොට ප්‍රශ්නයක් තියෙනවනම් විවාහවෙන දෙන්නට ඒවා ගැන කලින්ම කතාවෙලා බෙහෙත් ගන්න , ශාන්තිකර්ම කරන්න , යන්තර දාන්න , බෝධි පූජා කරන්න වගේ දේවල් කරන්න පුළුවන් වෙන නිසා .

කේන්දරේක පස්වැන්න තමයි දරුවන් ගැන ප්‍රධාන වශයෙන්ම වග කියන්නේ . ඒත් එහෙමයි කියලා පස්වැන්නටම ලොකු බරක් දෙන එක වැරදියි . තවත් විශාල ගණනක් හේතු සාධක තියෙනවා දරුපල කොහොමද කියලා තීරණය කරන . පොදුවේ දරුවන් නොමැති වීම පෙර ආත්මවල කරන ලද අකුසල කර්මයක් කියලා තමයි පිළිගැනෙන්නේ . කේන්දරෙත් එක්තරා ආකාරයක කුසලාකුසල කර්මවල සංයෝජනය පෙන්වන දෙයක් විදියටත් සලකන නිසා දරුපල ගැන විතරක් හිතලා බලනකොට මේක පෙර කර්මයක් අනුව හොඳ හෝ නරක අතට වෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් .

පොඩ්ඩක් මෙන්න මේ කතාව කියවලා බලන්න .

ස්වාමීනී, මාගේ පාවාඩය මතින් නොවැඩියේ මන් ද ?

නමෝ තස්ස භගවතෝ අරහතෝසම්මා සම්බුද්ධස්ස

අත්තානං චේ පියං ඡඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණ මඤ්ඤතරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ

පින්වත්නි, ඉහත මාතෘකා කළ ගාථාව අයත්වන්නේ බෞද්ධ අත්පොත වන ධම්මපදය ග්‍රන්ථයේ ආත්ම වර්ගයටයි. මෙහි සාමාන්‍ය අදහස වන්නේ තමාට තමා පි‍්‍රයනම් ආත්මය රැකගත යුතුය. නුවණැත්තා කුඩා කාලය, තරුණ කාලය සහ මහළු කාලය යන තුන් අවස්ථාවෙන් එක් අවස්ථාවකදීවත් කුසලින් පෝෂණය කරගත යුතුය යන්න ය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව දේශනා කරන ලද්දේ බෝධිරාජ කුමාරයාටය. මිහිපිට ඇති සියලු ප්‍රාසාද අබිබවා ගිය ‘කොකනද’ නම් ප්‍රාසාදයක් බෝධිරාජ කුමාරයා දක්ෂ වඩුවන් ලවා ඉදිකරවා ගත්හ.

එම ප්‍රාසාදය ගෙවදීමේ මංගල්‍යයට බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේට ද ආරාධනා කළා. ‘මට දුවක් හෝ පුතෙක් ලැබේනම් බුදුපියාණන් වහන්සේ පාවාඩ උඩින් වඩින සේක්වා’ යි සිතා බෝධිරාජ කුමාරයා එළිපත සිට පාවාඩ එලුවා. බුදුරජාණන් වහන්සේ එළිපත වෙතට වැඩමවා නතර වූහ. ‘ ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, පාවාඩ උඩින් වඩින සේක්වා’ කියා බෝධිරාජ කුමාරයා ආරාධනා කළහ. එහෙත් බුදුරජාණන් වහන්සේ නිසොල්මන්ව අනද තෙරුන්වහන්සේ වෙත බැලූහ. බුදුන් වහන්සේ පාවාඩ උඩින් නොවඩින බව ආනන්ද තෙරුන් වහන්සේ තේරුම් ගත්හ. පාවාඩ අකුලා දමන ලෙස ආනන්ද තෙරුන් වහන්සේ කුමාරයාට දැන්වූහ. පාවාඩ හකුලා අයින් කලාට පසු බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ මාලිගයට වැඩම කර දානය වැළදූහ. දන් වළදා අවසන් වූ බුදුරජාණන් වහන්සේගෙන් කුමාරයා මෙසේ අසන ලදී.

‘ස්වාමිනී භාග්‍යවත් බුදුපියාණන් වහන්ස! ඔබ වහන්සේ මා ඇතුරූ පාවාඩ මගින් නොවැඩියේ මන්ද?’
‘ඔබ කුමක් ප්‍රාර්ථනය කර පාවාඩ ඇතුරුවේ දැයි’ බුදුරජාණන් වහන්සේ කුමාරයාගෙන් විමසා සිටියහ.
‘ස්වාමිනී ! මා පාවාඩ ඇතුරුවේ මට දුවෙක් හෝ පුතෙක් ලැබේනම් ඔබ වහන්සේ මගේ පාවාඩ උඩින් වඩීවා යන ප්‍රාර්ථනය ඇතිවයි’ බෝධිරාජ කුමාරයා උත්තර දුන්නා.
‘මා පාවාඩ නොපාගන්න අදහස් කළේ ඔබේ ප්‍රාර්ථනය ඉෂ්ට නොවන නිසා ‘ යනුවෙන් බුදුන් වහන්සේ වදාළහ.
‘මට දරුවෙක් නොලැබෙන්න හේතුව කුමක් දැයි’ කුමාරයා බුදුන් වහන්සේගෙන් විමසා සිටියහ.
‘ඔබ එක් ආත්මයක ඔබේ බිරිය ද සමඟ කළ අපරාධයක් නිසා දරුවන් නොලැබෙන බව‘ බුදුන් වහන්සේ පැවසූහ.

‘ස්වාමීනි, එම අතීත කථාව වදාරන මැනැවැ’ යි බෝධිරාජ කුමාරයා බුදුන් වහන්සේට ආරාධනා කළහ.
බුදුන් වහන්සේ ඔහුගේ අතීත කථාව මෙසේ දේශනා කළහ. “කුමාරය, ඔබ පෙර එක් ජාතියක ඔබත්, බිරිඳත් පිරිවර සමඟ මුහුදු ගියා. මුහුද මැද දී නැව බිඳී පිරිස අතරමං විය. ඔබ සහ බිරිඳ දැව කොටයක ආධාරයෙන් එක්තරා දූපතකට පැමිණියා. ඒ දූපත කුරුලු වාස භූමියක්. ඔබ දෙපළට ඒ අවස්ථාවේ ආහාරයක් නොමැති නිසා කුරුලු බිත්තර අනුභවයට ගත්තා. ඒ වගේම කුරුල්ලන් අල්ලා ගින්නෙන් පුළුස්සා අනුභව කළා.
එම පාප කර්මය නිසා ඔබ උපදින උපදින ආත්මයක දරු සම්පතක් ලැබෙන්නේ් නැහැ. ඔබ එදා බිරිඳ සමග සිහිනුවණින් කටයුතු කළේනම් මෙසේ වන්නේ නැහැ. කුමාරය, තමාට තමා පි‍්‍රය වේ නම්, තමාට තමා හිතවැඩ පතානම්, තුන්වයසේදීම තෙමේ රැකිය යුතුය. තුන් වයසින් අඩු තරමින් එක් වයසකදීවත් තෙමේ රැකිය යුතුය. මෙසේ මාතෘකා කළ ගාථාව මුල්කර බුදුන් වහන්සේ කුමාරයාට ධර්ම දේශනා කළහ.

තමන් කරන කුසලාකුසල කර්මයන්ගෙන් කිසිවිටෙකත් සැඟවිය නොහැකිය. ගොනා පසුපස ඇදී එන රිය සක මෙන් අකුසල කර්මයේ විපාක සසර පුරා දුක් දෙමින් පසුපස එනවා. කුසල විපාකත් ඒ වගේම සෙවනැල්ල මෙන් සැප විපාක දෙමින් පසුපස එනවා.

බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිව ගියේ බිරිය සමග කුරුලු බිත්තර අනුභවයට ගත් පාපයකටයි. එක් එක් සත්ත්ව වර්ගයාට ආවේණික වූ ආහාර වර්ග කොටි, වලසුන් වැනි සතුන් මාංශ භක්ෂකයි. මුවෝ, ගෝන්නු, වැනි සතුන් ශාඛ ආහාරයට ගන්නව. මනුෂ්‍යායට ආහාරවන්නේ අල, බතල, ධාන්‍ය පලතුරු වැනි දේය. එහෙත් මිනිසා එයින් සෑහීමකට පත්වන්නේ නැහැ.

ඔබ සැමට තෙරුවන් සරණයි !
හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර සමණධම්ම හිමි






ජෛවීය විද්‍යානුකූලව ජීවයේ අකණ්ඩ පැවැත්ම තහවුරු කිරීම තමයි ජීවියෙකුගේ මූලික ජීව ක්‍රියාව වෙන්නේ . ඒ වෙනුවෙන් ඉතින් දරුපල තිබීම වැදගත් සාධකයක් වෙනවා . සමාජීය වශයෙන් දරුවෙක් ඉන්නා පවුලක තියෙන සමාජීය තත්වය දරුවෙක් නැති පවුලක ඇතිවෙන්නේ නැහැ . නෛතිකමයව බලනකොට දරුවන් නැති පවුලක සමහර දේවල් හිමිවීමේ වරප්‍රසාදය නැතිවෙනවා . උරුමකම් ලැබීම එහෙම ඒවගේ වෙනවා .

කේන්දරේක දරුවන් ගැන වැදගත් වෙන ස්ථානය පස්වැන්න කියලා කිව්වා වගේම තමයි එතැන ඉඳලා හත්වැන්න විදියට සලකන කේන්දරේ එකොළොස්වැන්නත් දරුපල පිළිබඳව සරු නිසරු බව පෙන්නනවා . කේන්දරේ හත් වැන්නත් චන්ද්‍රයා සිටින ස්ථානයත් අනුව දරුපල ඇතිවීම වෙනස් වෙනවා .

තනි පුද්ගලයෙකුගේ කේන්දරයක් අතට අරගෙන දරුපල මෙච්චරයි කියලා කියන එක සර්ව සාධාරණ නැහැ . බඳින්න හිතලාවත් නැති කෙනෙක් කේන්දරේ දීලා මට ළමයි කීයද කියලා ඇහුවට ඒක සාර්ථක කීමක් වෙන්නේ නැහැ . අනික එහෙම අහන එකත් එක්තරා ආකාරයකට වැරදි දෙයක් . හරිනම් දෙන්නාගේම කේන්දර අනුව තමයි දරුපල ගැන අහන්න ඕන . කේන්දර සංසන්දනය කිරීම අනුව තමයි දරුපල ගැන හරිහමන් තීරණයකට එන්න පුළුවන් වෙන්නේ . ඒවගේම ඒ ඒ කාලවල ගෙවන දසාවල් අනුවත් කේන්දරේ බලවත් උනත් දරුවන් නැතිවෙන්න හෝ ලැබෙන්න ඉඩ තියෙනවා .

දරුපල සම්බන්ධව කේන්දරේ අයිතිකාරයා විදියට සලකන්නේ බ්‍රහස්පතී , ඒ කියන්නේ ගුරු . ගුරු ග්‍රහයාව හඳුන්වන්නේ පුත්‍රකාරක ග්‍රහයා කියලා . ගුරු ග්‍රහයාගේ තැම්පත් වීම , බල දුබලතා , අධිපති භාවය වගේම ගුරු ග්‍රහයාගේ කාලානුරූප හැසිරීමත් මේ දරුපල වෙනුවෙන් දායක වෙනවා .

පස්වැන්න හත්වැන්න එකොළොස්වැන්න අධිපති බව උසුලන ග්‍රහයින්ගේ බලදුබලතා අනුවත් මේ දරුපල විකාශය වීම වෙනවා .

මිථුන සිංහ හා කන්‍යා කියන ලග්න සාමන්‍යයෙන් වඳ නිසරු රාශි විදියට තමයි සලකන්නේ . මේෂ සහ කුම්භ කියන රාශිනුත් වියළි බවෙන් යුක්ත ඒවා . මේ ලග්න පහ දරුවන් අඩු කරන ලග්න කියලා තමයි පෙන්වා දෙන්නේ . ඔය රාශිවල අදාළ ග්‍රහයින් ඉන්නවානම් ඒ ග්‍රහයින්ගේ බල දුබලතාවල වෙනස් වීම් වෙලා දරුවන් අඩු හෝ අහිමි කරවන තත්වයට පත් වෙනවා .

දරුවන් ලබාදෙන්න බාධා එල්ල කරන ග්‍රහයින් විදියට ශුෂ්ක ගති සහිත කුජ නපුන්ෂක ගති සහිත බුධ සහ අර්ධ නපුන්ෂක ගති සහිත සෙනසුරු හඳුන්වන්න පුළුවන් . ඒ ඒ තැන්වල මේ ග්‍රහයින් තැම්පත් වෙලානම් , එයාලට වැටෙන දෘෂ්ටි වලින් මේ ග්‍රහයින්ගේ නරක වැඩ දුර්වල කරන්නේ නැත්නම් දරුවන් අඩුවෙන්න පුළුවන් .





මම කලින් කිව්වා දරුපල වලට හිමිකම් කියන්නේ කේන්දරේ 5 සහ 11 කියන තැන්වල ඉන්න ග්‍රහයින් සහ ඒ අධිපතීන් සහ චන්ද්‍රයාගේ ඉඳලා පහ එකොළහ කියන තැන්වල ඉන්න ග්‍රහයින් කියලා . මේ අධිපතින් සහ ග්‍රහයින් ගේ ඉන්න තැන්වල තියෙන අංශක ගණන් බලනකොට මේවා බෙරණ , අස්ලිස , මා , සිත , දෙට , මුල , දෙනට වගේ නැකත් වලට වැටෙනවානම් දරුවන් අඩුවෙන්න පුළුවන් .

දරුවන් අඩු හෝ නැති අයට විකල්ප විදියට මෙන්න මේ පහලින් මම සටහන් කරන දේවල් ජ්‍යෝතිෂ විද්‍යාවේ සඳහන් වෙලා තියෙනවා .

අදවෙනකොට සමහර ඒවා ප්‍රායෝගික වීමත් නොවීමත් වෙලා තියෙනවා . ඒත් ඔයාලාගේ දැනගැනීම සඳහා මම ඒ දරුවන් ආකාර පිළිබඳව සඳහන් කරනවා .

ඖරස පුත්‍ර - විවාහක බිරිඳගේ දරුවා

ක්ෂේත්‍රජ පුත්‍ර - ස්වාමියා විසින් තමාගේ සහෝදරයෙකුගෙන් හෝ ළඟම නෑදෑයෙකුගෙන් ලබාදෙන දරුවා . නිසරු බව නිසාත් පවුලේ අනන්‍යතාවය පිටත යන නිසාත් දේපල පිටත යන නිසාත් මේ දේ වෙන්න පුළුවන් . එකගෙයි කෑම යම් ආකාරයකට මේකට සමානයි .

දත්ත පුත්‍ර - හදාගන්න ගත්ත දරුවා

ක්‍රීට පුත්‍ර - මිලදී ගත්ත දරුවා

කෘත්‍රීම පුත්‍ර - වැඩුණු පසු හදාගන්න ගත්ත දරුවා

අධම පුත්‍ර - පහත කුලයක කාන්තාවගෙන් ගත්ත දරුවා

ගූඩෝත්පන්න පුත්‍ර - විවාහක ස්වාමියා නැති ස්ත්‍රියකට උපන් දරුවා

අපවිද්ධ පුත්‍ර - පවුලෙන් ඉවත්කරනු ලැබුවාට පසු හදාගන්න ගත් දරුවා

පෞනර්භව පුත්‍ර - වැන්දබු ස්ත්‍රියක් හා සමග විවාහ වෙලා එයින් ලත් දරුවා

කණින පුත්‍ර - අවිවාහක ස්ත්‍රියගෙන් ලබාගත්ත දරුවා

සශෝධි පුත්‍ර - විවාහ වනවිටත් ගැබ්ගෙන සිට පසුව බිහිකරනු ලබන දරුවා

දාසි ප්‍රභව පුත්‍ර - නිවසේ දාසියකගෙන් ලබාගන්නා දරුවා

මේ ආකාරයේ දරුවන් තමන්ට ලැබීම හා නොලැබීම වෙන්නේ කොහොමද කියන එක ගැන ඉගැන්වෙන ඉගැන්වීම් හරිම සංකීර්ණයි . සංකීර්ණ ග්‍රහ පිහිටීම් අනුව තමයි ඒවා සිද්ධ වෙන්නේ . ඒවා පරීක්ෂා කිරීම ජ්‍යෝතිෂ්‍ය දන්නා අයට භාර වෙනවා . දරුවෙක් හදාගන්න ගන්නද කියලා අහනකොට අද කාලෙට ප්‍රායෝගික හොඳ මොකක්ද කියලා කියන එක තමයි ජ්‍යෝතිෂ වේදියාගේ යුතුකම වෙන්නේ .

ඒවගේම තමයි දරුපල හිමිවීම සහ අහිමි වීම කියන එක මේ වගේ ලිපියකින් සුළුවෙන් කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි . ඒක සරළම අවස්ථාවේ ඉඳලා ගැඹුරු කරුණු කාරණා දක්වා පැතිරිලා යනවා . දරුවන් නැති අයට පොදුවේ කරන්න පුළුවන් දේවල් ගැන මම ලිපියේ අවසානය විදියට සඳහන් කරන්නම් .





කන බොන දේවල් වලින් අපේ ඇඟේ විස ගතිය ඇතිවෙනවා . ඒ කියන්නේ බෙහෙත් වල පවා විස තියෙනවා . කැඳ වර්ග වලින් පුළුවන් ඇඟේ තියෙන විෂ ගොඩක් දුරට සමනය කරගන්න . කරපිංචා කොළ කැඳ , හාතවාරිය කොළ කැඳ , හාතවාරිය අල කැඳ , හීනටි හාල් කැඳ , වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි . ගෙදර මේවා වවා ගන්න ඉඩක් නැත්නම් හාතවාරිය එහෙම පෝච්චියක හදාගන්න පුළුවන් . ඉක්මණට පැල වෙනවා . ඒවගේම තමයි අලත් බහිනවා ඉක්මණටම .

කරපිංචා කැඳ , කරපිංචා විතරක් කැඳ බොන්න පුළුවන් නම් හොඳයි . එහෙම බැරිනම් වෙන පලා වර්ගයක් එක්ක කලවම් කරලා බොන්න පුළුවන් නම් වඩාත් හොඳයි . හැබැයි වැඩියෙන්ම නැතුව සතියට දෙවතාවක් විතර බොන්න . කරපිංචා මිරිස් ගලේ අඹරලා ලුණු , දෙහි දාලා සම්බල හදලා කන්නත් පුළුවන් . ඒත් හොඳයි .

අලුකෙසෙල් ගස් කැපුවට පස්සේ කඳේ උඩ හරියේ කෙසෙල් බඩය ගලවලා අරගෙන නියඹලා වගේ හදලා කන්න පුළුවන් නම් ශරීරයේ තවත් විෂ ගතිය අඩුවෙනවා . සර්පයෝ කෑවට පස්සේ පොවන්නෙම අලුකෙසෙල් කඳේ කෙසෙල් පතුරුවල ඉස්ම , අලුකෙසෙල් අල ඉස්ම වගේ දේවල් . ඒ නිසා අලුකෙසෙල් බඩත් ඉතාම ගුණදායක කෑමක් මේ විෂ ගතිය නැති කරන්න .

මේක තමයි වැදගත්ම දේ . මේක කරනවානම් ශරීරය ඉක්මණටම ප්‍රකෘතිමත් වෙනවා . ඒ කෝමාරිකා මදය කන එක . තිත්ත දැනෙන්නේ නැත්නම් කෝමාරිකා පිත්තම හපලා කන්න  පුළුවන් නම් හොඳයි . එහෙම බැරිනම් කෝමාරිකා පිත්ත පලලා ඒ මදය හැන්දකින් හූරලා දාන්න වතුර වීදුරුවකට . පස්සේ ඒක බොන්න . සෙවල ගතියක් විතරයි තියෙන්නේ . කිසිම රහක් නැහැ . අක්මාවට මුත්‍රාශයට මොළයට වගේ හැම දෙකටම කෝමාරිකා ගොඩක් හොඳයි .

කටු අනෝදා වඩාත් ගුණදායකයි . ශරීරය , ලේ , මුත්‍රා පිරිසිදු කරන්න පුළුවන් හැකියාවක් අනෝදා වලට තියෙනවා . ඒවගේම සෛලීය ක්‍රියාකාරීත්වය වැඩිකිරීමේ හැකියාවක් අනෝදා වලට තියෙනවා .

මේ දේවල් පිස්සු හැදිලා වගේ කාගෙන බීගෙන යන්න එපා . සතියට මේ ජාතිවලින් දෙකක් වගේ ටික ටික ඇඟට දාගන්න . එතකොට ශරීරයේ විෂ ගතිය ටික ටික නැතිවෙලා යයි .

වතුර වැඩියෙන් බොන්න ඕන . ඒකත් වැදගත් දෙයක් . එතකොට ශරීරයට අනවශ්‍ය දේවල් මුත්‍රා එක්ක පෙරෙනවා . මුත්‍රාශයේන් අධිකව බෙහෙත් වර්ග පෙරෙනවා කියන්නේ ඒකෙ ව්‍යුහයට හානියක්  වෙන්න තියෙන ඉඩ වැඩිවෙනවා . ඒ හානිය සමනය කරන්න කරපිංචා වලට පුළුවන් .






සරු බව වැඩිවෙන්න මේ කෑම ජාති හොඳයි .
රට කජු
කජු
එළඟිතෙල්
එළකිරි
උඳු
තල
මුන් ඇට
වෙරළු
මුරුංගා කරල් උයලා
මුරුංගා කොළ
එරබදු කොළ
රට ඉඳි
කිරි ඉබි මස් ( මරන්න තහනම් / හොයන්න ලේසි නෑ )
දූරියන් වගේ දේවල් හොඳයි
දූරියන් ඇට තම්බලා

ආහාරයට ගැනීමෙන් ප්‍රජනන සෞඛ්‍ය තත්වය නගාසිටුවාගන්න පුළුවන් .


කෘත්‍රීම කෑම වලින් පුළුවන් තරම් ඈත් වෙන්න

කොත්තු , ක්ෂණික නූඩ්ල්ස් ,වගේ කෑම අහිතකරයි .
කෘමිනාශක වගේ දේවල් අහිතකරයි .
විකිරණ අහිතකරයි .


ඒවගේම තමයි දරුපල වැඩිකරගන්න නොයෙක් ආකාරයේ ශාන්තිකර්ම තියෙනවා . පොදුවේ හැමෝටම කරන්න පුළුවන් දේ තමයි මම මේ ලිපියේ සටහන් කරන්නේ . ඒ තමයි සිල් සමාදන් වීම .

විවාහක යුවලක් දෙන්නාම සිල් සමාදන් වෙන්න ඕන . මේ සිරිත ආවේ සිද්ධාර්ථ කුමාරයාගේ කුස පිළිසිඳ ගැනීම අරමුණු කරගෙන කියලා තමයි මමනම් හිතන්නේ . බෞද්ධ සිංහල උදවිය හැටියට මේක කරන්න බැරි කමක් තියෙන්න විදියක් නැහැ ; පෝයට ඉතින් නිවාඩුත් තියෙන නිසා .

ඇසල මාසයේ පුර පසළොස්වක පොහොය දවසේ මහමායා දේවිය සිල් සමාදන් වෙලා ඉන්නා දවසක රාත්‍රියේ තමයි සිදුහත් කුමාරයා තුසිතයෙන් නික්මිලා මවුකුසට වැඩියේ . ඒ දේ අනුව යමින් හැම පොහොය දවසකම දෙන්නටම අටසිල් සමාදන් වෙන්න පුළුවන් නම් දරුවෙක් පිළිසිඳ ගැනීමේ වාසනාව ලඟා කරගන්න වාසනාවන්ත වෙන්න පුළුවන් කමක් ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙනවා .

දරුවෙක් ලැබෙන්නේ නැත්නම් දරුවෙක් හදාගන්නා එක තමයි උතුම්ම පිං කම වෙන්නේ . තමන් ඒකට හිත හදාගන්න ශක්තිමත් වෙන්න ඕන . තමන් ගිය ආත්මවල කරපු පවු නිසා තමයි මේ ආත්මයේ විඳවන්න වෙලා තියෙන්නේ . ඒ පවෙන් ලබන ආත්මයේ හෝ ගැළවෙන්න මේ ආත්මයේ කරන්න පුළුවන් ලොකුම පිං කම තමයි දරුවෙක් අරගෙන හදාගන්නා එක .

පවුලේ දේවල් පිටට යනවා , ලෙයින් පිටට යනවා , වගේ දේවල් පදනමක් නැති කතා . ඒ නිසා තමන්ට පුළුවන් තරම් උත්සාහ කරලා බෙහෙත් හේත් ශාන්තිකර්ම කරලා බැරිනම් දරුවෙක් හදාගන්න කියලා තමයි මමනම් කියන්නේ .

එහෙනම් දරුවන් නැති අයට දරුවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
දරුවන් ඉන්න අයටත් දරුවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

ආයෙත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

No comments:

Post a Comment