Breaking

Post Top Ad

Wednesday, September 18, 2019

සෙනසුරු හතේ කියා විවාහ බිඳ දමන්න එපා ( බමුණු මතය බිඳ දැමීම )





මේ ලිපිය ලියන්නේ වැදගත් කරුණු කාරණා කීපයක් කියලාදෙන්න . දැනට මාස දහයකට වගේ කලින් මට ලැබුණා කේන්දර දෙකක් විවාහය කොහොමද කියලා පරීක්ෂා කරන්න කියලා . ඒ පරීක්ෂා කිරීමේදී බැලූ බැල්මටම පේන්නේ දෙන්නට විවාහය අසාර්ථක වෙනවා වගේ තත්වයක් .

ඒත් භාව කේන්දර පරීක්ෂා කිරීමේදී එහෙම තත්වයක් තිබුණේ නැහැ . ඉතින් මම ඒ කේන්දර දෙක දුන්න කෙනාට ආයෙත් කතා කරලා ඇහුවා , මේ කේන්දර දෙක තව කවුරු හරි බලලා තියෙනවද කියලා . එතකොට ඒ කතා කරපු කෙනා කිව්වේ තමන් යාළුවෙලා ඉන්න ගෑණු ළමයාගේ පැත්තෙන් මේ විවාහය වෙනවාට කැමති නැහැ , මොකද කේන්දරේ සෙනසුරු හතේ ඉන්න නිසා කියලා .

මම ඊට පස්සේ කිව්වා , නැහැ භාව කේන්දර වලදී සෙනසුරු හතේ නෙවෙයි ඉන්නේ , අංශක කීපයක් පැනලා ඉන්නේ . ඒ නිසා එහෙම ගැටළුවක් නැහැ කියලා . ඒත් ගෑණු ළමයාගේ පැත්තෙන් මේ විවාහයට ලොකු අකමැත්තක් ඇතිවෙලා තියෙනවා කියලා කිව්වා . මම කිව්වා ඉතින් මේ කේන්දරේ විදියට නම් සෙනසුරු හතේ හිටියත් ප්‍රශ්නයක් නැහැ විවාහයට . දෙන්නට බයයි වගේ නම් ඔය බෝධි පූජාවල් එහෙම තියන්න . ඒත් එහෙමවත් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා .





කොහොමහරි මම දෙන්නාගේ විවාහ පරීක්ෂා සටහන පැහැදිලි කිරීම් එක්කම ලියලා දුන්නා නැන්දමටයි මාමණ්ඩිටයි පෙන්නන්න කියලා . මේ ළඟදී දවසක මට එයාලා ආයෙත් කතා කරලා කිව්වා දෙන්නා විවාහ වුණා කියලා . මම ඇහුවා අම්මලා තාත්තලාට කොකා පෙන්නලා පැනලාවත් ගියාද කියලා . පැහැදිලි කිරීම කරාට පස්සේ නැන්දම්මයි මාමණ්ඩියි ටිකක් තේරුම් ගත්තා කියලා තමයි කිව්වේ . සමහරවිට තවත් තැන් වලට දීලා කේන්දර බලවන්න ඇති කියලත් කිව්වා .

මෙන්න මේ වගේ ඉතාම අනුවණකාරී තීරණ ගන්න අම්මලා තාත්තලා වෙනුවෙන් සහ ඒවගේ තීරණ නිසා දුකට පත් වෙලා ඉන්න ප්‍රේම වන්තයින් ප්‍රේමවන්තියන් වෙනුවෙන් තමයි මම මේ ලිපිය ලියන්නේ . කියවලා බලන්න . එතකොට ඔයාලටම තේරුම් ගන්න පුළුවන් වෙයි සෘෂිවරු පිරිසිදුව නිර්මාණය කරපු මේ ජ්‍යෝතිෂ විද්‍යාවට බමුණන් කොච්චර විසබීජ දාලා තියෙනවද කියලා .


ඉස්සර කාලේ ඉන්දියාවේ මෙන්න මෙහෙම සම්ප්‍රදායක් තිබිලා තියෙනවා . බමුණන් සාමාන්‍යයෙන් ලාබාල කාලයේ විවාහ වෙලා නැහැ . එයාලා මුල් කාලයේ ඉඳලාම තමන්ගේ ජීවිතයේ වැදගත්ම දේ විදියට කරලා තියෙන්නේ අධ්‍යාපනය සීල වෘත සමාදන් වීම සහ බමුණු දහම ප්‍රචාරය කිරීම වගේ දේවල් තමයි . විවාහයක් වෙලා දරුවෙක් හදලා තමන්ගේ පරපුරේ පැවැත්ම ගැන එයාලා හිතලා තියෙන්නේ ගොඩක් වයසට ගිහින් .

ඒ වගේ වයසට ගිහින් විවාහ වෙන්න ඉන්නා බමුණන්ට ඉන්දියාවේ සිටුවරු මහාරාජාවරු වගේ ප්‍රභූ පැලැන්තියේ අය සැදී පැහැදී ඉඳලා තියෙනවා තමන්ගේ දූවරු පාවා දෙන්න . මොකද ඒ වගේ මුහුකුරා ගිය බමුණු පඬි වරුන්ට දාව උපදින දරුවන් ඒවගේම ඥාණවන්ත උගත් බුද්ධිමත් අය වෙනවා කියලා එයාලා අතරේ පිළිගැනීමක් තිබුණු නිසා . අනික තමයි කුල වලින් බ්‍රාහ්මණ කුලය උසස් කියලා එයාලාම මතයක් ඇති කරලා තියෙන නිසා .

කොහොමහරි මේවගේ විවාහ කරලා දෙන්න කලින් ඒ ගෑණු ළමයි තමන්ගේ පාරිශුද්ධත්වය නැති කරගනියි කියලා අර ප්‍රභූවරු කරලා තියෙන්නේ තමන්ගේ දූවරු කලින්ම තියා ඒ බමුණු ආරාමවල නතර කරවන එක . ඔහොම තමයි ඉතින් ඒ විවාහ වෙලා තියෙන්නේ .

මම කාලයක් තිස්සේ අධ්‍යනය කරා ඉන්දියාවේ යාග හෝම සම්බන්ධව . ධර්මාචාර්ය විභාගය ලියන කාලේ අපිට ඒවගේ දේවල් ගැන වෙනමම පාඩම් කරන්නත් තිබුණා . අශ්වමේධ , ව්‍යාජපෙයිය , නීරග්ගල , පුරුෂ මේධ වගේ යාග වලදී බමුණන් මේවගේ ගෑණු ළමයි යාගයේ පඬුරු විදියට අරගෙන තියෙනවා .

සෙනසුරු හතේ ඉන්න බමුණන්ට මේ වාසි වෙන්නේ අඩුවෙන් කියලා එයාලා අදහසක් ඇතිකරගෙන තියෙනවා . දන්නේ නැද්ද ඉතින් . කපුටු පිහාටුව කපුටෝ හතක් කරගන්නා සමාජයක්නේ එදත් අදත් ඉඳලා තියෙන්නේ . ඉතින් පස්සේ පස්සේ මේ බමුණන් සෘෂිවරුන් ඉතාමත් පාරිශුද්ධව නිර්මාණය කරපු මේ ජ්‍යෝතිෂ විෂයට එකතු කරලා තියෙනවා ශනි හතේ නම් විවාහය අවුල් තමයි කියලා .

ඉතින් අපේ ඉන්න නැන්දම්මලා මාමණ්ඩිලා මොකද කරන්නේ , පාරම්පරිකව උරුමකරගෙන එන මේ මතය තව දුරටත් සනාථ කරමින් තමන්ගේ ළමයින් තමන්ගේ සහකරු සහකාරිය විදියට හොයාගන්නා කෙනාව ඈත් කරලා ඒ අයගේ සතුටට බාධා කරලා එයාලත් දුකට පත් කරලා පවු කරගෙන තමනුත් දුකට පත් වෙනවා .

අද කාලේ මිනිස්සු හිතන්නේ දෙන්නෙක් යාළුවෙලා විවාහ වෙන එක සාමාන්‍ය සුලභ දෙයක් කියලා . ඒත් ජ්‍යෝතිෂය හසුරුවන කෙනෙක් විදියට මට නිතරම හමුවෙනවා , මේ කැම්පස් අවුට් වෙලා හොඳ රස්සාවක් කරගෙන ඉන්නවා . ඒත් විවාහයක් හරියන්නේ නැහැ . හොයලා බලනකොට යාළුවෙලා හිටපු කෙනාට අම්මලා තාත්තලා කැමති නැහැ . හේතුව එක්කෝ ශනි හතේ , නැත්නම් කුජ හතේ , නැත්නම් රාහු හතේ ඔය වගේ මොකක් හරි හේතුවක් . ඊට පස්සේ කේන්තියටයි දුකටයි ගේන යෝජනා ප්‍රතික්ෂේප කරනවා .





ඒත් ඔයාලා හිතලා බලන්න විද්‍යාවක් කියන්නේ ප්‍රශ්න වගේම විසඳුම් තියෙන දෙයක් නේද කියලා . හොරු ඉන්නවා . ඒක ඇත්ත . ඒත් ජ්‍යෝතිෂ විද්‍යාවෙන් කරන්නේ කර්මය වෙනස් කිරීමට උත්සාහ කිරීමක් . අත කැඩෙන්න තියෙන කෙනාගේ අත තුවාල වෙලා නවතිනවා . මැරෙන්න ඉන්න මනුස්සයා නොමරා එකතැන් වෙලා හරි ජීවිතේ බේරා ගන්නවා .

අන්න ඒවගේ තමයි විවාහ ප්‍රශ්න වලටත් උත්තර තියෙනවා . මැණික් තියෙනවා . යන්තර මන්තර තියෙනවා . බෝධි පූජා සෙත් පිරිත් වගේ දේවල් තියෙනවා . ආයුර්වේදය බටහිර වෙදකම වගේ සාර්ථක දේවල් තියෙනවා . ඒ හැමදේම තියාගෙනත් ඒවා ගැන හිතන්නේ නැතුවම යම් හේතුවක් දැක්ක පලියටම විවාහයක් කඩා කප්පල්කරන්න එපා .

මම දන්නවා යම් යම් ජ්‍යෝතිෂ වේදීනුත් දැන් මේ පැත්තේ කැරකෙනවා කියලා . එයාලටත් කියන්න තියෙන්නේ විවාහ ගළපන්න එනවානම් ඒ දෙන්නා ප්‍රේම සම්බන්ධයක් ඔස්සේ විවාහයක් ප්‍රාර්ථනා කරනවානම් ටිකක් ජ්‍යෝතිෂ කරුණු මත පදනම් කරගෙන ඒත් ලිහිල් මාවතක් අනුගමනය කරන්න කියලා .

මොකද දෙන්නෙක් යාළුවෙලා ඊට පස්සේ කේන්දර බලලා ගැළපෙන්නේ නැහැ කියලා වෙන් කරලා දුකට පත් කරනවාට වඩා හොඳ , අපල තියෙනවානම් මාරක තියෙනවානම් ඒවා සාර්ථකව පන්නගන්න උදවු කරන්න කියලා දෙන එක . ඒක සමහරවිට තමන්ටත් පිනක් වෙන්න පුළුවන් .





අවසානයේ කියන්න තියෙන්නේ සෘෂිවරු දුර දක්නා නුවණින් බිහි කරපු ජ්‍යෝතිෂ විද්‍යාව බමුණන් විසින් තමන්ගේ ලාභ අපේක්ෂා වර්ධනය කරගන්න දූෂණය කරලා ඇති කරපු ගොන් බමුණු මත බිඳ හෙලලා , හරි ජ්‍යෝතිෂ පාරේ ගිහින් තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න කියලා .

මොකද සියළුම ශිල්ප ශාස්ත්‍රවල අවසාන ඵලය වෙන්න ඕනේ තමන්ගේ අවශ්‍යතා තමන්ට අවශ්‍ය විදියට සකසා ගැනීම. ඒ නැතුව ශිල්පයට ඕන විදියට තමන්ගේ අවශ්‍යතා සකසා ගැනීම නෙවෙයි .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

No comments:

Post a Comment